Print this page

නබි ඊසා නොහොත් යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත පිළිබඳ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ පණිවිඩය

දෙසැ 24, 2021

යොමු අංකය : ACJU/NGS/2021/292

2021 දෙසැම්බර් මස 25 වෙනිදා

 

නබි ඊසා නොහොත් යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත ලොව පුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් සහ මනස් ආකර්ෂණය වූ ආශ්චර්යයකි.

නබි ඊසා/යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) යනු සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරුන්ගෙන් හා දූතයින්ගෙන් කෙනෙකි. මුස්ලිම් ජනයාවූ අපි, නබි ඊසා/යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරයෙක් සහ දූතයෙක් යැයි විශ්වාස කරන්නෙමු. මෙතුමාණෝ නබි නූහ්(නෝහ්), නබි ඉබ්‍රාහිම්(ආබ්‍රහම්), නබි දාවුද්(දාවිද්), නබි මූසා(මෝසෙස්) සහ අවසාන වක්තෘ නබි මුහම්මද් (සියල්ලන්ටම ශාන්තිය අත්වේවා) වැනි නබිවරුන්ගේ දාමයේ කොටසකි.

ශුද්ධවූ අල්-කුර්ආනයේ නබි ඊසා/යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) පිළිබඳව නිශ්චිත වශයෙන් 25 වතාවක් සඳහන් වී ඇති අතර එතුමාණන්ගේ මව වන මර්යම් තුමියගේ (ඇයට ශාන්තිය අත්වේවා) මහිමය පිළිබඳව ශුද්ධවූ අල්-කුර්ආනයේ 34 වතාවක් සඳහන් වී ඇත. ශුද්ධවූ අල්-කුර්ආනයේ 'ආලු-ඉම්රාන්' සහ 'මර්යම්' නැමැති පරිච්ඡේද තුළින් නබි ඊසා/යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත පිළිබඳවූ මහා ප්‍රාතිහාර්යය පිළිබඳව සඳහන් වී ඇත. මෙය නබි ඊසා/යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) කෙරෙහි සියලු මුස්ලිම්වරු අතර ඇති උසස් බව හා ගරුත්වය නිරූපණය කිරීමකි.

සියලු දහම් වල මූලික මූලධර්ම වන්නේ ප්‍රේමය, කරුණාව, මනුෂ්‍යත්වය, යුක්තිය, සාමය සහ සමාදානය වැනි ගුණාංගයන් ය. මෙම ගුණාංග පාදක කරගනිමින් සියලු දහම් අතර ඵලදායී සංවාදයන් ගොඩනැගීමට කටයුතු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගීම, සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීම සහ මානව වර්ගයා මුහුණදෙන ගෝලීය අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදී විෂයන් සිදුවීම දැකිය හැකිය.

මේ දිනවල ලෝකවාසී කිතුනු සහෝදරයෝ නබි ඊසා/යේසුස් තුමාණන්ගේ (එතුමාට ශාන්තිය අත්වේවා) උපත සිහිපත් කරන්නෝය. නබි ඊසා/යේසුස් තුමාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) ඇතුළු සියලු වක්තෘවරුන් දේශනා කළ පිළිගනු ලැබූ අලංකාරවත් ඉගැන්වීම් අනුගමනය කරමින් ලෝකවාසී සියලුදෙනාට යහමග, සාමය සහ සමෘද්ධිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි,

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

 

Last modified onසිකුරාදා, 24 දෙසැම්බර් 2021 12:03