සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුවන්ගේ සභාවේ හජ් උත්සව දින පණිවිඩය (1442 - 2021)

ජූලි 20, 2021

යොමු අංකය : ACJU/NGS/2021/138  

2021.07.21 / 1442.12.10


අල්ලාහු අක්බර්.. අල්ලාහු අක්බර්.. අල්ලාහු අක්බර්...


අප රටේ මෙන්ම මූුළු ලොවටම දරුණු ලෙස බලපා ඇති කෝවිඩ්-19 වසංගත සමයෙහි විවිධ බාධක මැද මෙවර හජ් උත්සවය සමරන ලංකාවාසී මුස්ලිම්වරුන්ට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුවන්ගේ සභාවේ ගරු සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය හජ් උත්සව සුබ පැතුම් ප්‍රකාශ කර සිටියි.


වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර හජ් වන්දනාව ඉටුකිරීමට අනුමැතිය ලැබී ඇත්තේ අතළොස්සක් රටවලින් තෝරා ගත් අතිශය සීමිත සංඛ්‍යාවක බැතිමතුන්ට ය. වෙනත් ඇතැම් රටවල මෙන් ශ්‍රී ලංකාව් කිසිවෙකුටත් මෙවර හජ් වන්දනාවට අනුමැතිය නොලැබුණි. ඒනිසා මෙම වැදගත් ආගමික කර්තව්‍යය ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බැතිමතුන්ට පවා මෙවසරෙහි ඉෂ්ට කිරීමට අවකාශය නොලැබුණි. මෙම උසස් ආගමික වතාවත ඉටු කරන්නට මෙවර වරම් නොලැබූවන්ට ඒ සඳහා වූ සම්පුර්ණ කුසල ලබා දෙත්වා යැයි අප සර්ව බලධාරී අල්ලාහ්ගෙන් උදක් අයැද සිටිමු.


ශ්‍රේෂ්ඨ ජන සමුහයක් සහ සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් නබි ඉබ්‍රාහිම් (අලෛ) තුමාණන් සහ එතුමන්ගේ පවුලේ අය කළ කැපකිරීම් හා පරිත්‍යාගයන් ඊදුල්-අල්හා නම් වන හජ් උත්සවය තුළින් අපට සිහිපත් කර දෙයි. මෙනෙහියෙන් පමණක් නොනැවතී කොන්දේසි විරහිතව මහා දයාබර සර්ව බලධාරී අල්ලාහ්ට පුර්ණ ලෙසින් අවනත වී නබි ඉබ්‍රාහිම් (අලෛ) තුමාණන්ගේ ක්‍රියාකලාපය හැකි පමණ අනුගමනය කිරීමට සෑම මුස්ලිම්වරයෙකුම උපරිමයෙන් උත්සාහ කළ යුතුය.


ඕනෑම දේශයක සමෘද්ධිය සහ සාර්ථකත්වය රඳා පවතින්නේ එහි ප්‍රජාව, පවුල් ඒකකය සහ සමාජය විසින් සිදු කරනු ලබන කැපවීම් මත ය. එපමණක් නොව, මෙවන් අර්බුදකාරී සමයක සමාජීය යහපත උදෙසා යමෙකුගේ පුද්ගලික අපේක්ෂාවන් කැප කිරීමටද ඉස්ලාමය උනන්දු කරයි.


මෙම මොහොතේ තවත් වැදගත් කරුණක් වන උල්හියියා කර්තව්‍යය ඉටු කිරීම පිළිබඳව සිහිපත් කිරීම සුදුසු යැයි සිතමු. මෙම ආගමික වතාවත ඉටු කරන විට ඉස්ලාමීය මගපෙන්වීම් මෙන්ම රටේ පවතින නීතිරීති ගැනද අප අතිශයින්ම සැලකිලිමත් විය යුතුය. ආදර්ශවත් මුස්ලිම් භත්කිකයෙකු වශයෙන් සහෝදර අසල්වැසියන් සමග ඇසුරු කිරීම, ඔවුන්ගේ ආගමික හැගීම්වලට ගරු කිරීම, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම නියම මුස්ලිම්වරයෙකුගේ ගතිගුණ වේ.


මෙම විශේෂ දිනයෙහි මුළු ලෝකයෙන්ම කොවිඩ්-19 වසංගතය තුරන් කර සියල්ලන්ටම ආරක්ෂාව හා නීරෝගී ජීවිතයක් ලබා දෙත්වායි අප මහා කාරුණික සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටිමු.


තකබ්බලල්ලාහු මින්නා වමින්කුම්.. ඊද් මුබාරක්..

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.