Super User

Super User

2020/04/13

සිංහල දමිළ අලුත් අවුරුදු දින පණිවිඩය

ශ්‍රී ලාංකේය ජනතාවගෙන් අති මහත් බහුතරයකගේ සංස්කෘතිමය වශයෙන් වැදගත් වූ සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද මෙම වර්ෂයේ පෙර මෙන් සැමරීමට නොහැකිව ඇත්තේ මුළු රටම මුහුණ පා ඇති කොරෝනා වසංගතය හේතුවෙනි.

මෙම අලුත් අවුරුදු උදාවත් සමග නියමිත සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් අපගේ මාතෘභූමිය මෙම වසංගත තත්ත්වයෙන් මුදා ගන්නට සැමට එක්ව අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට දෙවියන් භාග්‍ය ලබා දෙත්වා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙරට ප්‍රතිසාධනය සදහා කටයුතු කරන රජයටත්, සියළු රාජ්‍ය සේවකයින්ටත්, විශේෂයෙන්ම ඉමහත් කැපවීමකින් කටයුතු කරන සියළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිළධාරීන්ටත් මෙරට සියළු ජනයාටත් මෙම අවස්ථාවේ දී හෘදයාංගම ප්‍රාණාමය පුද කරන්නෙමු.

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහා ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

02.04.2020

කෝවිඩ්-19 වයිරසය නිසා අභාවයට පත්වන්නන්ගේ මෘත දේහය ආදාහනය කිරීම

කෝවිඩ්-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වීමෙන් මරණයට පත්වන මෘතදේහ භූමදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් 2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත්කළ මාර්ගෝපදේශයට, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව හා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව තම දැඩි කණගාටුව ප්‍රකාශ කර සිටිමු. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයෙහි පැහැදිලිව සඳහන් වන්නේ කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් භූමදානය ද කළ හැකි බවයි. එහෙයින් රටවල් ගණනාවක්ම ආදාහනය වෙනුවට භූමදානය යන ක්‍රමයද ක්‍රියාවට නංවති.

දැනට පවතිත්නා වූ මෙම විකල්පයක් නොමැති තත්ත්වය නිසා, මෘත දේහයක් බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපී ක්‍රියාවක් ලෙස නොසැලකේ. එමෙන්ම මෙම කාලය තුළ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, මරණයට පත් වූ පුද්ගලයාට ස්වර්ගයේ උසස් තත්ත්වයක් ලබා දෙන ලෙසත් අප සැමදෙනා යාච්ඤා කරමු.

දැනට අප මුහුණ දෙමින් සිටින කාලවකවානුව මෙයට පෙර අප මානව ඉතිහාසයේ කිසි විටෙක ඇති නොවනු සංවේදජනක අවදියක් බව විශේෂයෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව පමණක් නොව සුපිරි බලවතුන් යැයි කියා ගන්නා රටවල් පවා මෙම ව්‍යසනය ඉදිරියේ අන්ත අසරණ වී සිටිති. ඒ අනුව අපගේ රජයද මෙකී නොකී සියලු පියවර ගන්නේ ජනතා සුබසාධනය අරමුණු කරගෙනය යන කරුණ අප කිසි විටෙක අමතක නොකළ යුතුය. එනිසා අපගේ ලාංකික සහෝදර ජනකොටස් සේම මුස්ලිම් අපද ඒ සඳහා රජයට සම්පුර්ණ සහයෝගය ලබා දිය යුතුය. මෙරට වැසියන් ලෙසින් එය අපට පැහැර හැරිය නොහැකි වගකීමකි.

මෙම කොරෝනා ව්‍යසන සමයෙහි පමණක් නොව මෙයට පෙර ඇති වුනු ජාතික හදිසි තත්ත්වයන්, ආපදා සහ අර්බුද අවස්ථා සියල්ලෙහිම රජයේ නීති නිර්දේශ හා මගපෙන්වීම් අනුව කටයුතු කරන මෙන් අප ලාංකික මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දෙමින් සිටි ආකාරය හා ලාංකික මුස්ලිම්වරුන්ද එයට පුර්ණ ලෙසින් කීකරු වී කටයුතු කළ හා කරමින් සිටින ආකාරයද අප මෙවිට රජයට සිහිපත් කරනු කැමැත්තෙමු.

මෙම අවස්ථාවෙහි එක් වැදගත් කරුණක් අප මුස්ලිම් ප්‍රජාවට කියනු කැමැත්තෙමු. මුස්ලිම්වරුයෙකු අභාවයට පත් වූ විට ඔහුගේ හෝ ඇයගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීම අපගේ දැඩි ආගමික අවශ්‍යතාවකි. එහෙයින් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා මෘත දේහයක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම” යන මැයෙන් 2020 මාර්තු 20 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හුවා දක්වමින් කොරෝනා ආසාදනය නිසා අභාවයට පත්වන ලාංකික මුස්ලිම්වරුන් විෂයයෙහි රජයේ වත්මන් ස්ථාවරයේ වෙනසක් ඇති කර ගන්නට හැකිද යැයි අප හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව හුදෙක් සඳහන් කර සිටිමු.

2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව කෝවිඩ්-19 ආසාදනය නිසා මරණයට පත්වන්නන්ගේ දේහය, නිර්දේශිත විශේෂ මගපෙන්වීම් අනුව කටයුතු කරමින්, ආදාහනය හෝ භූමදානය කළ හැකිය යැයි විකල්ප ලබා දී ඇත. බොහෝ රටවල ඒ ඒ ජන කොටස්වලට ඔවුන්ගේ ආගමික මගපෙන්වීම් හා විශ්වාසය අනුව කොරෝනා වයිරසයට ගොදුරු වුවන්ට - අදාළ විශේෂ නිර්දේශ පිළිපදිමින් - අවසන් කටයුතු කිරීමට අවසර දෙන තත්ත්වයද මෙවිට අප රජයට ඉස්මතු කර පෙන්වීමට අදහස් කරමු.

මේ අනුව අප මෙරට රාජ්‍ය බලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව භූමිදානය ද ක්‍රමයක් වන හෙයින් මෙම ආසාදනය හේතුවෙන් මරණයට පත්වූ මුස්ලිම්වරයෙකුගේ මෘතදේහ භූමදාන කිරීමට හැකිවන පරිදි සංශෝදනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන්ම කොරෝනා වයිසරය අසාදනය වීම නිසා ඇති වන්නේ යැයි සෞඛ්‍ය  අංශ විසින් විස්තර කර ඇති රෝග ලක්‍ෂණ කිසිවක් අපට හෝ අපගේ නිවැසියන්ට ඇතිව තිබේ යැයි සැකයක් ඇති වුනු වහාම එය අදාළ බලධාරීන්ට දන්වා සිටින මෙන්ද අප සභාව ලාංකික මුස්ලිම්වරුන්ගෙන් නැවතත් ඉල්ලා සිටිමු.

වෙනත් රෝග හෝ ආසාදන මෙන් නොව කොරෝනා වයිසරය නිසා ඇති වන රෝගී තත්ත්වය අන් අයටද අවදානම් ඇති කළ හැකි හෙයින් මේ විෂයයෙහි මුස්ලිම් අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් පොදු යහපත විෂයන්හි සැලකිලිමත් වීම මුස්ලිම්වරයෙකුගේ කිසිසෙත් පැහැර හැරිය නොහැකි දැවැන්ත ආගමික වගකීමක් වන හෙයිනි.

ඒ අනුව අතීතයේ අප කටයුතු කළා සේම මෙම අර්බුද අවස්ථාවෙහිද රජයේ සියලු නීති නියාමන හා මගපෙන්වීම්වලට අවනත වෙමින් කටයුතු කරන මෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් අප උදක් ඉල්ලා සිටිමු. ශුද්ධ අල් කුර්ආනයේ මගපෙන්වීම මෙන්ම කාරුණික නබි මුහම්මද් තුමාණන්ගේ ප්‍රායෝගික ආදර්ශයද මෙයම වේ.

මුළු රටම යම් තැතිගැන්මකට ලක්ව සිටින මෙම අවස්ථාවේ මානුෂීය සංවේදිතා සහ හැගීම්වලට ගරුකරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන මෙන් අප ලාංකික සැමගෙන්ම ඉල්ලා සිටිමු.

එමෙන්ම මෙම ව්‍යසනයෙන් අප රට ඇතුලු මුලු ලොවම මුදවා ගන්නා මෙන්ද, මිනිස් වර්ගයාගේ කුමන පාපයන් නිසා මෙම පරීක්‍ෂණය එවා ඇත්තේද එම පාපයන් සමා කර මෙය නිම කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප ඉතා බැගෑපත්ව අයැද සිටිමු.

2020.03.30

1441.08.05

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය

සියලු ප‍්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් සහ සලාම් අල්ලාහ්ගේ අවසාන දුතයා වන නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගෙන් පැවතෙන්නන් හා සගයන්හට අත් වේවා.

මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටු කර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ඝණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළ විට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙති.

එසේම ජනාසා සලාතය ඉටුකිරීමට පෙර දේහය ස්නානය කරවා තිබීම අනිවාර්යය කරුණකි. ජලයේ ගිලී හෝ ගොඩනැගිල්ලක් කඩා වැටී යට වී මරණයට පත් වූ තත්ත්වයක දේහය නොලැබී ස්නානය කරවීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එම මරණය සඳහා සලාතය ඉටු කළ යුතුද යන කරුණෙහි ආගමික විශාරදයින් අතර මතභේද පවතී. මරණයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීමට එම දේහය ස්නානය කරවා තිබීම අනිවාර්ය වන හෙයින් ස්නානය කරවීමට අවස්ථාව නොලැබුනු දේහයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීම අවශ්‍යය නැත යන්න බහුතරයක් ආගමික විශාරදයින්ගේ ස්ථාවරයයි.

එසේ වුවද ජනාසා සලාතයේ අරමුණ මරණයට පත් වු පුද්ගලයා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කිරීමයි. මරණයට පත්වූ දේහය සඳහා අනිවාර්ය වන වගකීම් හතරින් ඇතැම් වගකීම් ඉටුකළ නොහැකි වූ හෙයින් ඉටුකළ හැකි වගකීම්ද අත්හැරිය නොහැක යැයි තවත් ඇතැම් විශාරදයින් අදහස් දක්වති. මේ සඳහා ඔවුන් උපුටා දක්වන්නේ “යම් කාර්යයක් සම්බන්ධව කළ නොහැකි දේ හේතු දක්වා කළ හැකි දේ අත් නොහැරිය යුතුය” යන ස්ථාවරයයි.

මේ හේතුවෙන් කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයකින් අන් අයට වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති හෙයින් මල්ලක බහා වසාදමනු අතර එම දේහය ස්නානය කරවීමට හා කෆන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මෙවන් තත්ත්වයකදී ඉහත පවසන ලද දෙවන මතයට අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයක් ස්නානය කරවීමට නොහැකි වුවද එම දේහය වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර භූමිදානය කළ යුතුය.

කොරෝනා කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ අයෙකු ගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී, මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැක, දේහය ආදාහයන කළ යුතුයි. දේහය භුමිදාන කරන්නේ නම් වළ අඩි 6 කට ගැඹුරු විය යුතුයි. රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමිදාන කටයුතු විය යුතුයි. ඉතා සමීප ඥාතීන් කීහිපයකට පමණක් ඒ සදහා සහභාගි වීමට අනුමැතිය දිය යුතුයි. භූමිදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක විය යුතුයි. යනාදී උපදෙස් පනවා ඇත.

ඉහත පවසන ලද ආගමික උපදෙසට අනුව දේහය ස්නානය කරවීමට හා තයම්මුම් කරවීමට නොහැකි හෙයින් රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බොහෝ පිරිසක් එක්රැස් නොවී ප්‍රධාන කිහිපදෙනෙක් පමණක් සහභාගී වී ජනාසා සලාතය හා භූමිදාන කටයුතු ඉටුකළ යුතුයි. සෙසු අය මෙවන් දුෂ්කර අවස්ථාවකදී ගායිබ් ජනාසා සලාතය ඉටුකිරීමට ඉස්ලාමයට අනුව අනුමැතිය ඇත.

යා අල්ලාහ්! මෙවැනි රෝගවලින් මරණයට පත්වන්නන්ගේ පව් කමාකොට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා, එවැන්න්ගේ නිවැසියන්ට සැනසුම දායාද කරත්වා!

සැ. යු;

මෙවන් දේහයන් රාජ්‍ය නිළධාරින්ගේ උපදෙස් මත සොහොන් පිටියෙහි සුවිශේෂි ස්ථානයක භූමිදානය කිරීමට සහාය දක්වන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

අල්ලාහ් සර්වඥය.

 

 

අෂ් ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්

ලේකම්,

ෆත්වා අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව 

29.03.2020

ශ‍්‍රී ලංකා පොලිසිය හා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව විසින් නිකුත් කරන විශේෂ නිවේදනය

 

  1. ඇඳිරි නිතිය බල පැවැත්වෙන විට අනුගමනය කළ යුතු කරුණු
  • ඇඳිරි නීතිය බල පැවැත්වෙන විට නිවසින් බැහැරව යාමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටීම.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ හැකි පමණින් නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීම (මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලද ආයතන වල නාමයන් විද්‍යුත් මාධ්‍යවල පළ විය).
  • ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවකදී කිසිවෙකු නිවසින් පිටවිය නොහැක. අතිශයින්ම සුවිශේෂී අවශ්‍යතාවකදී පමණක් නිවසින් බැහැර වීමට පෙර අදාළ ප‍්‍රදේශයේ පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතු අතර එය නිකුත් කරන විට කොන්දේසි අදාළ වේ.
  • කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මහජන යහපත මුල් කරගෙන රජය ඇඳිරි නීතිය පනවා ඇති බව වටහා ගෙන වගකීමෙන් ක‍්‍රියා කළ යුතුයි. ඊට පටහැනි වන තැනැත්තන්ට නීතිමය ක‍්‍රියාමාර්ග දියත් කරනු ලැබේ.

 

  1. රජය ඇඳිරි නීතිය ඉවත් කරන ලද මොහොතක පහත කරුණු වලට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කළ යුතුයි.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර එසේ නොහැකි අවස්ථාවකදී එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.
  • එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලූ පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.
  • නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.
  • භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.
  • වෙළඳ පොලෙහි වැඩ කටයුතු ඉතා සුළු වේලාවකින් නිම කර ගැනීම.
  • නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගැනීම හා ස්නානය කර නිවැසියන් සමග සබඳතා පැවැත්වීම.

 

  1. ස්වයං නිරෝධායනයේ යෙදෙන විට අනුගමනය කළ යුතු කරුණු

පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැක කරන තැනැත්තෙකු ඇසුරු කර තිබේ ද? එසේ නම්, ඔබ වහාම ස්වයං නිරෝධායනයට යොමු විය යුතු ය.

  1. රෝග ලක්ෂණ පිළිබඳ ව අවධානයෙන් සිටින්න.
  2. නිවස තුළ සිටින අන් අයගෙන් වෙන් ව නිවසේම රැඳී සිටින්න.
  3. අන් අය සමග ගැවසීමේ දී අවම වශයෙන් මීටරයක් පමණ දුරස්ථ ව සිටින්න.
  4. සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පළඳින්න.
  5. කසින විට හෝ කිවිසන විට මුව ආවරණය කර ගන්න.
  6. නිරන්තරයෙන් සබන් යොදා අත් සෝදන්න.
  7. නිවසේ භාවිත කරන දෑ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න.
  8. භාවිත කරන දෑ පිරිසිදු කර ගන්න, භාවිත කොට ඉවතලන දෑ විනාශ කරන්න.
  9. ඉවත දැමිය හැකි භාජනයක ආහාර ලබා ගන්න, රෝගියාටම වෙන් වූ වැසිකිළි හා නාන කාමර භාවිත කරන්න.
  10. ස්වයං නිරෝධායනය ආරම්භ කළ දින සිට අවම වශයෙන් දින 14 ක් මෙම ක‍්‍රමය අනුගමනය කරන්න.

 

මෙම කාලය තුළ රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම පහත අංක අමතන්න.

0112444480 / 0112444481 හෝ 1933 නැතහොත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට ඊ-මේල් කරන්න.

 

ඔබ නිරෝධායන උපදෙස් වලට පටහැනි ව ක‍්‍රියා කළහොත් සිදුවන්නේ කුමක් ද?

 

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අදාළ වේ.

  • ඔබ නිරෝධායන ක‍්‍රියාවලියට අනුගත කළ හැකිය.
  • ඔබගේ ගමන් බිමන් සීමා කළ හැකිය.
  • අන් අයගෙන් වෙන් කර තැබීම හෝ ප‍්‍රතිකාර සඳහා බලහත්කාරයෙන් වුව ද යොමු කළ හැකිය.
  • ඊට අවනත නොවීම හේතුවෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය.
  • වරදකරුවෙකු වුවහොත් මාස 06 ක් දක්වා සිර ද`ඩුවම් හෝ රු 2,000/- සිට රු 10,000/- දක්වා දඩයකට යටත් කළ හැකිය.

 

ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව ද වරදකි.

  • නොසැලකිල්ලෙන් හෝ හිතාමතා ම හෝ ද්වේශසහගතව රෝගය පැතිරීමට ඉඩ හැරීම, රෝගය පැතිරවීම හෝ නිරෝධායන රීති අනුගමනය නොකිරීම.
  • මෙය වරෙන්තුවක් නොමැතිව සිර භාරයට ගත හැකි වරදකි.
  • මාස 06 සිට වසර 02 දක්වා සිර දඬුවමකට ද රු 1,500/- ක දඩයකට ද යටත් කළ හැකිය.

 

වැරදි සඳහා අනුබල දීම ද වරදකි.

  • ඉහත වැරදි සඳහා අනුබල දෙන තැනැත්තන් ද සහාය වන තැනැත්තන් ද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි වරදකි.
  • ඉහත වරදට ද`ඩුවමට ම යටත් කළ හැකිය.

 

ඉහත වැරදි සඳහා යොදාගත් නිශ්චල / චංචල දේපළ ද තහනමට ලක් විය හැකිය.

සැ: යු:

  • ආගමික විෂයන් සඳහා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව මුස්ලිම් ප‍්‍රජාවට පෙර දැනුම් දී ඇති මගපෙන්වීම් අනුගමනය කරන්න.
  • සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව පෙර දැනුම් දී ඇති මගපෙන්වීම් අනුගමනය කර මස්ජිදයන් කේන්ද්‍ර කර ගනිමින් තම ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයේ අනුමැතිය ඇතිව සහනාධාර කටයුතු වල නියැළෙන්න.

 

 

2020.03.27

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

ජනාසාවක අවසන් කටයුතු සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීම

මුළු ලොවම එකම එක් ව්‍යසනයක් නිසා කම්පාවට පත්ව සිටිනු අපි දනිමු. කොරෝනා නම් වන මෙම වසංගතයට සිය ගණනින් දැනටමත් ගොදුරු වී මිය ගොස් ඇති අතර විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම තත්ත්වය පාලනය කිරීමේ එක් පියවරක් ලෙසින් ලොව රටවල් සෑම එකක්ම පාහේ ඇඳිරි නීතිය පනවා ඇත. අන් බොහෝ රටවල මෙන් අප රටේද දෛනික සියලු කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇත.

මෙම ව්‍යසනයෙන් මීදීම පිණිස රජය විසින් ඇඳිරි නීතියට අමතරව තවත් විවිධ පියවර ගණනාවක්ම ගනිමින් සිටින අතර මුස්ලිම් ප‍්‍රජාවද රජයේ නීති නිර්දේශවලට අවනත වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස කටයුතු කරමින් පෙර නොවිරූ අන්දමින් පස්වේල සලාතය සහ සිකුරාදා ජුමුආ නැමදුම තමතමන්ගේ නිවෙස්වලම ඉටු කර රජයේ නියෝග පරිදි සියලුම ආකාරයේ ආගමික හා සමාජමය එක් රැස්වීම්ද නවතා දමා ඇත. එමෙන්ම මුස්ලිම් ප‍්‍රජාව මෙරට හා රට වැසියන්ගේ ආරක්ෂාව පතා සහය දක්වමින් සිටියි.

මේ අතර අල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි. එහෙයින් මිනිසුන් රැස්වන විට මෙම රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇත යැයි සෞඛ්‍ය බලධාරීන් අවවාද කර ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට පහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකේය මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි:

  1. මරණයක් සිදු වු වහාම ඔබ අයත් වන පොලිස් ස්ථානයට එය පිළිබදව දැන්විය යුතුය.
  2. පොදු ජනතාවට මරණය සම්බන්ධව දන්වන විට අවසන් කටයුතු සඳහා බොහෝ දෙනෙක් එක් රැස්වීමට නොහැකි හෙයින් තම නිවෙස් වලම සිට අභාවයට පත් වූ තැනැත්තා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිය යුතුය.
  3. ජනාසා නැමදුම සඳහා ගෙන යන විට අදාළ පොලිසිය විසින් අනුමැතිය දුන් සංඛ්‍යාවේ තැනැත්තන් පමණක් එය සමග යා යුතුය.
  4. මරණය සිදුවූ නිවසේ මිනිසුන් රැස්වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ ඉතා සැලකිල්ලෙන් යුතුව අනුගමනය කළ යුතුය.
  5. ජනාසාව ස්නානය කරවන අය පමණක් නොව එය සමග සුසාන භූමියට යන පුද්ගලයන් සියලු දෙනාම මුඛ හා නාස් ආවරණ නොවරදවා පැළඳගත යුතුය.
  6. ජනාසා සලාතය මස්ජිද් පරිශ්‍රයේ සිදු කළ යුතුය.
  7. ජනාසා සලාතය සඳහා සිට ගන්නා විට උරෙනුර ගැටී සිට ගැනීම සාමාන්‍ය රීතිය වුවද මෙවන් අවස්ථාවක මඳක් ඈත්ව සිට ගැනීමට ඉස්ලාමය අනුමැතිය ලබා දෙන හෙයින් එසේ සිට ගත යුතුය.
  8. භූමදානය කරන විට අත්‍යවශ්‍ය කිහිප දෙනෙකු පමණක් ඒ වටා සිටිය යුතු අතර අන් අය ඈතින් හා එක් රෝක් නොවී විසිරී සිටිය යුතුය.
  9. භූමදාන කටයුතු අවසන් වු පසු ප‍්‍රාර්ථනාවල යෙදී ඉක්මනින් සිය නිවෙස්වලට යා යුතු අතර මුසාෆහා හෙවත් අතිනත දී ආචාර කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ඉහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලක්වාසී මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

සැ.යු. - අල්ලාහ් මෙසේ පවසයි : “අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරතාව අපේක්ෂා නොකරයි.” (සූරා අල් බකරා 185)

නබි මුහම්මද් තුමන් (සල්) මෙසේ උපදෙස් කර ඇත : “නිශ්චය වශයෙන්ම මෙය පහසු දහමකි. කවුරුන් හෝ මෙම දහම ඔහුට අසීරු කර ගතහොත් එය ඔහු අභිබවනු ඇත. (සහීහුල් බුහාරි 39)

ඉහත මාර්ගෝපදේශ මෙම ශුද්ධ කුර්ආන් වැකිය, නබිවදන හා ආගමික විශාරදයින්ගේ අදහස් පදනම් කර ගනිමිනි.

 

අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්

ලේකම් - ෆත්වා කමිටුව,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

2020.03.23

සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් වගකීමෙන් යුතුව අනුගමනය කරමු

ලොව සියලුම රටවලට පාහේ කොරෝනා වයිරසය පැතිරී ඇති අතර මෙම උවදුරෙන් මිදීමට එම රටවල් විවිධ පියවර ගනිමින් සිටිනු දැකිය හැකිය. ඒ අනුව ශ‍්‍රී ලංකාවද මෙම ව්‍යසනය තුරන් කිරීමට පියවර ගණනාවක්ම ගනිමින් සිටියි. සෞඛ්‍ය බලධාරීන් විවිධ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් සිටිති. මෙම පියවර හා සැලසුම්වල සාර්ථකත්වය රඳා පවතින්නේ එයට මහජනයා දක්වන අවනත වීම මතය.

රජය ඇඳිරි නීතිය පනවා ඇත්තේ මහජන යහපත මුල් කරගෙන වන බව අප සැම වටහා ගත යුතුය. ඒ අනුව එයට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි. ඇඳිරි නීති සමයෙහි නිවෙස්වලට හා අප සිටින ස්ථානවලට වී සිටීම මගින් අප ආරක්ෂක අංශවලට පුර්ණ සහය ලබා දිය යුතුය.

කොරෝනා උවදුරෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය හා අරක්ෂක අංශ ප‍්‍රමුඛ රජය විසින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් ආදර්ශමත් ජනකොටසක් ලෙස කටයුතු කරන මෙන් දිවයින පුරා වාසය කරන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටියි. මහජනයාට රජය ලබා දී ඇති උපදෙස් මාලාව පහත පරිදි වෙයි:

 

  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.
  • එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලු පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.
  • නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.
  • භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.
  • නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගත යුතුය.

ඉහත උපදෙස් තමන් අනුගමන කරන අතරම ඒවායෙහි වැදගත්කම පහදා දී අන් අයද එයට උනන්දු කරන මෙන්ද මෙම කරුණු පිළිබඳ තමන්ගේ පෙදෙස්වාසීන් දැනුවත් කරන මෙන්ද දිවයිනේ සියලුම මස්ජිද්වල භාරකරුවන් හා පරිපාලකයන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

 

 

අෂ් ෂෙයික් අබ්දුල් මුක්ෂිත්

ලේකම් - ප‍්‍රචාරක අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

2020.03.24 / 1441.07.28

ගරු සභාපති / ලේකම්

දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය ශාඛා

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

අල්ලාහ් අප සැමව සියලුම දුක් කරදරවලින් ආරක්ෂා කරත්වා. ආමීන්

රටේ දැනට පවතින හදිසි වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන වර්ෂ 2020 මාර්තු 24 වන අද දින (අගහරුවාදා) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ප‍්‍රධාන ශාඛාවෙහිදී සිවිල් සහ ජන නායකයන් එක්රැස් වු රැස්වීමෙහි හදිසි සහන සැපයීම සඳහා පහත ක‍්‍රමවේද යෝජනා කරන ලදී.

 

සියලුම දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය ශාඛා මෙම තීරණ අනුව කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

 

  1. ඔබ ප‍්‍රදේශයේ තිබෙන මස්ජිද් සම්මේලන හෝ මස්ජිද් පරිපාලකයන් සමග එක්ව ප‍්‍රදේශයේ කේන්ද්‍රීය මස්ජිදයක් තෝරා එය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසින් පිහිටුවා ගත යුතුය.
  2. මේ සඳහා ඔබ ප‍්‍රදේශයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුද මස්ජිද් සම්මේලන හෝ මස්ජිද් පරිපාලකයන් වෙනුවෙන් පස් දෙනෙකුගෙන්ද සමන්විත කමිටුවක් පත් කර ගත යුතුය. (මෙම සංඛ්‍යාව පෙදෙසේ විශාලත්වය අනුව අඩු හෝ වැඩි කර ගත හැකිය)
  3. ඇඳිරි නීතිය බල පැවැත්වෙන වේලාවල ගමන් කිරීමට දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට පොලිස් අවසරයක් හා වාහනයක (ත‍්‍රීරෝද රථයක්, යතුරුපැදියක් ආදී) පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතුය.
  4. කේන්ද්‍රීය මස්ජිදය හා සම්බන්ධ විය හැකි ක්ෂණික ඇමතුම් (Hotline) අංකයක් ලබා ගත යුතුය.
  5. ඒ ඒ පෙදෙස්වල වාසය කරන සියල්ලන්ගෙන්ම තමන් හා ඇති අතිරේක ආහාර ද්‍රව්‍ය කැමති පරිදි කේන්ද්‍රීය මස්ජිදයට භාර දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය. එය ග‍්‍රෑම් 250 ක ද්‍රව්‍යයක් වුවද කම් නැත.
  6. යමක් ලබා දෙන්නට කැමති අය මෙන්ම තමන්ට යමක් අවශ්‍ය වන අය, දෙනු ලැබූ දුරකථන අංකය හා සම්බන්ධ වී කාරණාව දැනුම් දිය යුතුය.
  7. කේන්ද්‍රීය මස්ජිදයෙන් උදව් ඉල්ලා සිටින්නන්ගේ සුදුසුකම් හා අවශ්‍යතාවයේ අව්‍යාජ බව තහවුරු කරගනිමින් අවශ්‍යතාවට අනුව උදව් කළ යුතුය.
  8. ත්‍යාගශීලීන්ගෙන් ආහාර ද්‍රව්‍ය රැස් කිරීම මෙන්ම අවශ්‍ය කරන නිවෙස්වලට භාණ්ඩ යැවීම සිදු කළ යුත්තේ පොලිසියෙන් ඇඳිරි නීති සමයෙහි මෙම සේවාව සඳහා අවසර ලත් පුද්ගලයන් හා වාහන පමණි.
  9. මානුෂීය කෝණයෙන් සිදුකරනු ලබන මෙම සේවාව ජාති ආගම් වෙනසකින් තොරව මෙම සේවාව සැමට ලැබෙනු සේ තහවුරු කරගත යුතුය.
  10. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සේවාව සඳහා යොදා ගන්නා කි‍්‍රයාකාරීන්ගේ සංඛ්‍යාව හැකි පමණ අවම සංඛ්‍යාවක් තබා ගත යුතුය. එමෙන්ම ආහාර ද්‍රව්‍ය එක් රැස් කරන විටද ඒවා අසුරන විට මෙන්ම බෙදා හරින විටද සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතුය.
  11. මෙම අගනා කාලීන කර්තව්‍යය සඳහා නොමසුරුව දායක වන මෙන්ම ආලිම්වරුන්, මස්ජිද් පරිපාලකයන්, ධනවතුන් හා ප‍්‍රධානීන් ඇතුලු සියල්ලන්ගෙන්ම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
  12. ත්‍යාගශීලීන් වෙතින් අපේක්ෂා කරන ආහාර ද්‍රව්‍ය :
  • සහල්
  • සීනි
  • පරිප්පු
  • කිරි පිටි
  • තේ කුඩු
  • තිරිගු පිටි
  • සැමන් ටින්

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව