20121.02.18


1441.07.05



වසර දහසකට වැඩි ඉතිහාසයක් හිමි ලාංකික මුස්ලිම් ජනයා මෙම රටෙහි දේශපේ්්‍රමී ජනකොටසක් ලෙසින් තම යුතුකම් ඉටු කරමින් පැමිණි අතර ඔවුන්ට හිමි අයිතිවාසිකම් ලබමින් ජීවත් වූ ජනසමූහයකි යැයි සඳහන් කිරීම ඉතා නිවැරදිය.


ලාංකික මුස්ලිම් ජනයාගේ ඉතිහාසය බලන කල සෑම විටම තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන් ආරක්ෂා කරමින් පැමිණි අතර රටට හිතෛෂී ව හා රටේ ඒකීය බවට මෙන් ම සහජීවනයට රුකුල් වෙමින් හා ආදර්ශමත් ලෙසින් සහෝදර ජනයා සමග එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කළ ආකාරය පෙනී යයි.


මෙරට ඇති මුස්ලිම් පල්ලි සහ මද්රසා හෙවත් අරාබි පාසැල්, මක්තබ් වැනි නම්වලින් අමතනු ලබන ප්‍රාථමික දහම් පාසැල්, අහදියා ඉරු දින දහම් පාසැල්, මුස්ලිම් පුද්ගල නීතිය මෙන්ම ආහාර පානවල හලාල් අනුමැතිය සහතික කරන ක්‍රමවේද හා ආයතන ආදිය ලාංකික මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ දහම හා සම්ප්‍රදායන් අනුව වාසය කිරීමට ඉමහත් රුකුලක් ව පැවතිණ. එමෙන්ම ඉහත කිසිඳු ඉස්ලාමීය ආයතනයක් රටේ ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවට කිසි විටෙක තර්ජනයක් ව නොවූ බව ද නොරහසකි.


මුස්ලිම් නාමයන් දැරූ පිරිසක් උපයෝගී කර ගනිමින් 2019 අපේ්්‍රල් මස 21 වන පාස්කු ඉරුදින සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවට සමුහයක් හැටියට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව මුළු මහත් ශ්‍රී ලංකික මුස්ලිම් ප්‍රජාව ඇතුලු මුස්ලිම් සංවිධාන වහාම සිය කණගාටුව, පිළිකුල හා හෙළා දැකීම ප්‍රකාශ කර සිටියෝය. එසේ තිබියදී මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා හා ඉහත කී ඉස්ලාමීය ආයතන මත වරද පටවා ඔවුන් දෙස සැකමුසු දෑසින් බැලීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. නමුත් සියලු ත්‍රස්තවාදීන් දඬුවම් ලැබ ත්‍රස්තවාදය මෙලොවින් තුරන් විය යුතු අතර අහිංසක මුස්ලිම් ජනයා හා ඉහත කී ඉස්ලාමීය ආයතන මෙයට බිල්ලක් විය නොයුතුයි.


මෙවන් කණගාටුදායක තත්ත්වයක රජයෙන්, බලධාරීන්ගෙන් හා රට වැසියන්ගෙන් පහත ඉල්ලීම් කර සිටින්නෙමු.


මෙරට වාසය කරන මුස්ලිම්වරුන්ගේ මද්රසා හෙවත් අරාබි පාසැල්, මුස්ලිම් පුද්ගල නීතිය, කෝවිඩ්-19 වසංගතය නිසා අභාවයට පත්වන මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු භූමදානයට අනුමැතිය ඉල්ලීම ඇතුලු කරුණු පෙරදැරි කරමින් රට පුරා අස්ථාන මුස්ලිම් භීතිකාවක් නොකඩවා පතුරවමින් සිටීම හා එමගින් මුස්ලිම්වරුන් ගැන අන් අයගේ සිත්වල වෛරය රෝපණය කිරීම හා එය හරහා නිහීන ලෙසින් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කිරීම ආදිය නවතා දැමීමට සියලු දේශපාලඥයින් කටයුතු කළ යුතුය යැයි තරයේ ඉල්ලා සිටිමු. ජාතිවාදය හා ජනකොටස් අතර භේද වැපිර වු කිසිඳු දේශපාලඥයෙකුට තම රට දියුණු තත්ත්වයකට ගෙන යා නොහැක.


මුස්ලිම්වරුන්ගේ හා සියලු රට වැසියන්ගේ අයිතිවාසිකම් හා අනන්‍යතාවන් මුල් කර ගනිමින් දේශපාලන වාසි ගැනීමේ නොමනා ක්‍රියාව නිසා මෙරට මුස්ලිම්වරුන් හා සියලු රට වැසියන් ඉමහත් අසීරුතාවට පත් ව සිටින අතර ජනකොටස් අතර භේදය හා සැකය වර්ධනය වී කාලාන්තරයක් පැවත ආ සමගිය හා සහජීවනයට ප්‍රශ්නාර්ථයක් ව පවති.


මාධ්‍යයන් විසින් ද ඔවුන්ගේ මෙවැන් නිහීන ක්‍රියාවලට රුකුල් දෙමින් කටයුතු කළ නොයුතුයි යැයි ඉල්ලා සිටින අතර එමගින් මෙරට ඒකීය බව හා භෞමික අඛණ්ඩතාව පළුදු විය හැකි බව ද අවධාරණය කර සිටිමු.


ඉහත ඉස්ලාමීය ආයතන ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වන්නන් ඒ සඳහා ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙන් එළිදැක්වූ ලිපි වෙත යොමු වෙන ලෙස ද වැඩි විස්තර සඳහා අප අමතන ලෙස ද ඉල්ලා සිටින්නෙමු.


ලාංකික මුස්ලිම් ජනයා මෙරටට නිදහස ලැබුනු වකවානුවේ සිට බලයට පත්වන සියලු රජයන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත්තාහ. එනිසා ලාංකික මුස්ලිම්වරුන්ගේ අයිතීන් හා ඔවුන්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කරනු ඇතැ’යි අප සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු මොළකරුවන් ලොවට හෙළි කොට ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නට අප රජය කටයුතු කළ යුතු යැයි ද ඉල්ලා සිටිමු.


සර්ව බලධාරී අල්ලාහ්, අප මාතෘභූමිය සියලු උවදුරු වලින් ආරක්ෂා කොට සංවර්ධනයෙන් සපිරි සෞභාග්‍යමත් රටක් වශයෙන් පත් කරත්වායි ප්‍රාර්ථනා කරමු.

 

 

අෂ් ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික්
නියෝජ්‍ය සභාපති,
ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව