02.04.2020

කෝවිඩ්-19 වයිරසය නිසා අභාවයට පත්වන්නන්ගේ මෘත දේහය ආදාහනය කිරීම

කෝවිඩ්-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වීමෙන් මරණයට පත්වන මෘතදේහ භූමදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් 2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත්කළ මාර්ගෝපදේශයට, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව හා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව තම දැඩි කණගාටුව ප්‍රකාශ කර සිටිමු. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයෙහි පැහැදිලිව සඳහන් වන්නේ කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් භූමදානය ද කළ හැකි බවයි. එහෙයින් රටවල් ගණනාවක්ම ආදාහනය වෙනුවට භූමදානය යන ක්‍රමයද ක්‍රියාවට නංවති.

දැනට පවතිත්නා වූ මෙම විකල්පයක් නොමැති තත්ත්වය නිසා, මෘත දේහයක් බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපී ක්‍රියාවක් ලෙස නොසැලකේ. එමෙන්ම මෙම කාලය තුළ ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, මරණයට පත් වූ පුද්ගලයාට ස්වර්ගයේ උසස් තත්ත්වයක් ලබා දෙන ලෙසත් අප සැමදෙනා යාච්ඤා කරමු.

දැනට අප මුහුණ දෙමින් සිටින කාලවකවානුව මෙයට පෙර අප මානව ඉතිහාසයේ කිසි විටෙක ඇති නොවනු සංවේදජනක අවදියක් බව විශේෂයෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව පමණක් නොව සුපිරි බලවතුන් යැයි කියා ගන්නා රටවල් පවා මෙම ව්‍යසනය ඉදිරියේ අන්ත අසරණ වී සිටිති. ඒ අනුව අපගේ රජයද මෙකී නොකී සියලු පියවර ගන්නේ ජනතා සුබසාධනය අරමුණු කරගෙනය යන කරුණ අප කිසි විටෙක අමතක නොකළ යුතුය. එනිසා අපගේ ලාංකික සහෝදර ජනකොටස් සේම මුස්ලිම් අපද ඒ සඳහා රජයට සම්පුර්ණ සහයෝගය ලබා දිය යුතුය. මෙරට වැසියන් ලෙසින් එය අපට පැහැර හැරිය නොහැකි වගකීමකි.

මෙම කොරෝනා ව්‍යසන සමයෙහි පමණක් නොව මෙයට පෙර ඇති වුනු ජාතික හදිසි තත්ත්වයන්, ආපදා සහ අර්බුද අවස්ථා සියල්ලෙහිම රජයේ නීති නිර්දේශ හා මගපෙන්වීම් අනුව කටයුතු කරන මෙන් අප ලාංකික මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දෙමින් සිටි ආකාරය හා ලාංකික මුස්ලිම්වරුන්ද එයට පුර්ණ ලෙසින් කීකරු වී කටයුතු කළ හා කරමින් සිටින ආකාරයද අප මෙවිට රජයට සිහිපත් කරනු කැමැත්තෙමු.

මෙම අවස්ථාවෙහි එක් වැදගත් කරුණක් අප මුස්ලිම් ප්‍රජාවට කියනු කැමැත්තෙමු. මුස්ලිම්වරුයෙකු අභාවයට පත් වූ විට ඔහුගේ හෝ ඇයගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීම අපගේ දැඩි ආගමික අවශ්‍යතාවකි. එහෙයින් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා මෘත දේහයක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම” යන මැයෙන් 2020 මාර්තු 20 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හුවා දක්වමින් කොරෝනා ආසාදනය නිසා අභාවයට පත්වන ලාංකික මුස්ලිම්වරුන් විෂයයෙහි රජයේ වත්මන් ස්ථාවරයේ වෙනසක් ඇති කර ගන්නට හැකිද යැයි අප හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව හුදෙක් සඳහන් කර සිටිමු.

2020 මාර්තු 31 වෙනි දින ප්‍රකාශයට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව කෝවිඩ්-19 ආසාදනය නිසා මරණයට පත්වන්නන්ගේ දේහය, නිර්දේශිත විශේෂ මගපෙන්වීම් අනුව කටයුතු කරමින්, ආදාහනය හෝ භූමදානය කළ හැකිය යැයි විකල්ප ලබා දී ඇත. බොහෝ රටවල ඒ ඒ ජන කොටස්වලට ඔවුන්ගේ ආගමික මගපෙන්වීම් හා විශ්වාසය අනුව කොරෝනා වයිරසයට ගොදුරු වුවන්ට - අදාළ විශේෂ නිර්දේශ පිළිපදිමින් - අවසන් කටයුතු කිරීමට අවසර දෙන තත්ත්වයද මෙවිට අප රජයට ඉස්මතු කර පෙන්වීමට අදහස් කරමු.

මේ අනුව අප මෙරට රාජ්‍ය බලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට අනුව භූමිදානය ද ක්‍රමයක් වන හෙයින් මෙම ආසාදනය හේතුවෙන් මරණයට පත්වූ මුස්ලිම්වරයෙකුගේ මෘතදේහ භූමදාන කිරීමට හැකිවන පරිදි සංශෝදනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන්ම කොරෝනා වයිසරය අසාදනය වීම නිසා ඇති වන්නේ යැයි සෞඛ්‍ය  අංශ විසින් විස්තර කර ඇති රෝග ලක්‍ෂණ කිසිවක් අපට හෝ අපගේ නිවැසියන්ට ඇතිව තිබේ යැයි සැකයක් ඇති වුනු වහාම එය අදාළ බලධාරීන්ට දන්වා සිටින මෙන්ද අප සභාව ලාංකික මුස්ලිම්වරුන්ගෙන් නැවතත් ඉල්ලා සිටිමු.

වෙනත් රෝග හෝ ආසාදන මෙන් නොව කොරෝනා වයිසරය නිසා ඇති වන රෝගී තත්ත්වය අන් අයටද අවදානම් ඇති කළ හැකි හෙයින් මේ විෂයයෙහි මුස්ලිම් අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් පොදු යහපත විෂයන්හි සැලකිලිමත් වීම මුස්ලිම්වරයෙකුගේ කිසිසෙත් පැහැර හැරිය නොහැකි දැවැන්ත ආගමික වගකීමක් වන හෙයිනි.

ඒ අනුව අතීතයේ අප කටයුතු කළා සේම මෙම අර්බුද අවස්ථාවෙහිද රජයේ සියලු නීති නියාමන හා මගපෙන්වීම්වලට අවනත වෙමින් කටයුතු කරන මෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් අප උදක් ඉල්ලා සිටිමු. ශුද්ධ අල් කුර්ආනයේ මගපෙන්වීම මෙන්ම කාරුණික නබි මුහම්මද් තුමාණන්ගේ ප්‍රායෝගික ආදර්ශයද මෙයම වේ.

මුළු රටම යම් තැතිගැන්මකට ලක්ව සිටින මෙම අවස්ථාවේ මානුෂීය සංවේදිතා සහ හැගීම්වලට ගරුකරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන මෙන් අප ලාංකික සැමගෙන්ම ඉල්ලා සිටිමු.

එමෙන්ම මෙම ව්‍යසනයෙන් අප රට ඇතුලු මුලු ලොවම මුදවා ගන්නා මෙන්ද, මිනිස් වර්ගයාගේ කුමන පාපයන් නිසා මෙම පරීක්‍ෂණය එවා ඇත්තේද එම පාපයන් සමා කර මෙය නිම කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප ඉතා බැගෑපත්ව අයැද සිටිමු.

2020.03.30

1441.08.05

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය

සියලු ප‍්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් සහ සලාම් අල්ලාහ්ගේ අවසාන දුතයා වන නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගෙන් පැවතෙන්නන් හා සගයන්හට අත් වේවා.

මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටු කර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ඝණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළ විට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙති.

එසේම ජනාසා සලාතය ඉටුකිරීමට පෙර දේහය ස්නානය කරවා තිබීම අනිවාර්යය කරුණකි. ජලයේ ගිලී හෝ ගොඩනැගිල්ලක් කඩා වැටී යට වී මරණයට පත් වූ තත්ත්වයක දේහය නොලැබී ස්නානය කරවීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එම මරණය සඳහා සලාතය ඉටු කළ යුතුද යන කරුණෙහි ආගමික විශාරදයින් අතර මතභේද පවතී. මරණයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීමට එම දේහය ස්නානය කරවා තිබීම අනිවාර්ය වන හෙයින් ස්නානය කරවීමට අවස්ථාව නොලැබුනු දේහයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීම අවශ්‍යය නැත යන්න බහුතරයක් ආගමික විශාරදයින්ගේ ස්ථාවරයයි.

එසේ වුවද ජනාසා සලාතයේ අරමුණ මරණයට පත් වු පුද්ගලයා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කිරීමයි. මරණයට පත්වූ දේහය සඳහා අනිවාර්ය වන වගකීම් හතරින් ඇතැම් වගකීම් ඉටුකළ නොහැකි වූ හෙයින් ඉටුකළ හැකි වගකීම්ද අත්හැරිය නොහැක යැයි තවත් ඇතැම් විශාරදයින් අදහස් දක්වති. මේ සඳහා ඔවුන් උපුටා දක්වන්නේ “යම් කාර්යයක් සම්බන්ධව කළ නොහැකි දේ හේතු දක්වා කළ හැකි දේ අත් නොහැරිය යුතුය” යන ස්ථාවරයයි.

මේ හේතුවෙන් කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයකින් අන් අයට වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති හෙයින් මල්ලක බහා වසාදමනු අතර එම දේහය ස්නානය කරවීමට හා කෆන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මෙවන් තත්ත්වයකදී ඉහත පවසන ලද දෙවන මතයට අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයක් ස්නානය කරවීමට නොහැකි වුවද එම දේහය වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර භූමිදානය කළ යුතුය.

කොරෝනා කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ අයෙකු ගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී, මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැක, දේහය ආදාහයන කළ යුතුයි. දේහය භුමිදාන කරන්නේ නම් වළ අඩි 6 කට ගැඹුරු විය යුතුයි. රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමිදාන කටයුතු විය යුතුයි. ඉතා සමීප ඥාතීන් කීහිපයකට පමණක් ඒ සදහා සහභාගි වීමට අනුමැතිය දිය යුතුයි. භූමිදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක විය යුතුයි. යනාදී උපදෙස් පනවා ඇත.

ඉහත පවසන ලද ආගමික උපදෙසට අනුව දේහය ස්නානය කරවීමට හා තයම්මුම් කරවීමට නොහැකි හෙයින් රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බොහෝ පිරිසක් එක්රැස් නොවී ප්‍රධාන කිහිපදෙනෙක් පමණක් සහභාගී වී ජනාසා සලාතය හා භූමිදාන කටයුතු ඉටුකළ යුතුයි. සෙසු අය මෙවන් දුෂ්කර අවස්ථාවකදී ගායිබ් ජනාසා සලාතය ඉටුකිරීමට ඉස්ලාමයට අනුව අනුමැතිය ඇත.

යා අල්ලාහ්! මෙවැනි රෝගවලින් මරණයට පත්වන්නන්ගේ පව් කමාකොට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා, එවැන්න්ගේ නිවැසියන්ට සැනසුම දායාද කරත්වා!

සැ. යු;

මෙවන් දේහයන් රාජ්‍ය නිළධාරින්ගේ උපදෙස් මත සොහොන් පිටියෙහි සුවිශේෂි ස්ථානයක භූමිදානය කිරීමට සහාය දක්වන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

අල්ලාහ් සර්වඥය.

 

 

අෂ් ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්

ලේකම්,

ෆත්වා අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව 

19.03.2020

ජුමුආ කාල පරාසයට ගරු කිරීමක් ලෙසින් යහ කි‍්‍රයාවල යෙදෙමු

කොරෝනා වයිසරය (COVID 19) දිවයිනේ විවිධ තැන්වලට පැතිරීමේ අවදානම පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවති. එමෙන්ම ජනයා එක්රැස් වීම මෙම රෝගය බෝවීමේ අවදානම වැඩි කරන ප‍්‍රධාන කරුණක් වන බව ජගත් සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර ඇත. මේ අනුව අපගේ රජයද මිනිසුන් එක්රැස් වීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඒ අනුව එසේ එක්රැස් වීම නීති විරෝධී කි‍්‍රයාවක් වන හෙයින් මෙම නිර්දේශයට පිටුපාන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද දැනුම් දී ඇත.

තමන්ට හෝ අනුන්ට හානි ඇති කිරීම ඉස්ලාමය හෙළා දකින අතර මේ පිළිබඳව දන්වන නබිවදන ෆික්හ් කලාවෙහි ප‍්‍රධාන මූලධර්මයකි.

ඉස්ලාමයට අනුව ජුමුආ සහ පස්වේල අනිවාර්ය සලාතයන් කණ්ඩායම් ලෙසින් ඉටු කිරීමෙන් වැළකී සිටීමට රෝගය, බිය, ගමනේ යෙදී සිටීම, රෝගීන්ට උපස්ථාන කිරීම, දැඩි සුළග හා වර්ෂාව වැනි කරුණු කොන්දේසි වශයෙන් ආගමික විශාරදයින් පෙන්වා දී ඇත. මෙවන් නොවැළැක්විය හැකි හේතු නිසා ජුමුආ සහ පස්වේල අනිවාර්ය සලාතයන් කණ්ඩායම් ලෙසින් නොපවත්වන විට එයට සමාන කුසල් අපට නොඅඩුව ලැබෙන බව නබිවදන් තුළින් සනාථ වී ඇත.

උක්ත කරුණු සැලකිල්ලට ගනිමින් ජුමුආ සහ පස්වේල් සලාතය සඳහා මස්ජිදයේ රැස් නොවී තමන් සිටින ස්ථානවලම එම සලාතයන් ඉටු කර ගන්නා මෙන් වක්ෆ් සභාව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දැනුම් දී ඇති බව අපි දනිමු.

සිකුරාදා යනු මුස්ලිම්වරුන්ට අධ්‍යාත්මික කෝණයෙන් වැදගත් දිනයකි. මෙම දිනයෙහි සූරා කහ්ෆ් පාරායණය කිරීම, නබි මුහම්මද් (සල්) තුමන් කෙරෙහි සලවාත් කීම, ප‍්‍රාර්ථනා කිරීම ආදියෙහි අප අධිකව නිරත විය යුතුය.

ඒ අනුව හෙට සිකුරාදා දිනයක් වන හෙයින් සිරිත් පරිදි අපගේ ව්‍යාපාර ස්ථාන වසා දමා ලුහර් අදාන් ප‍්‍රකාශයට පත් වුනු වහාම තමන්ගේ නිවෙස්වල හා තමන් සිටින ස්ථානවලම ලුහර් සලාතයේ රකඅත් හතර මෙන්ම එහි පෙර හා පසු ඇති සුන්නත් සලාතයන්ද ඉටුකර මෙම වසංගතය අප රටෙන් මෙන්ම මුළු ලොවෙන්ම ඉවත් කර අරක්ෂාකර දෙන මෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

සැයු: ජුමුආ දිනයේ එක්තරා හෝරාවක් ඇති බවද එම හෝරාවෙහි අපගේ ප‍්‍රාර්ථනා අල්ලාහ් විසින් නිතැතින්ම පිළිගනු ලබන බව නබි මුහම්මද් (සල්) තුමාණන් පවසා තිබේ.

මෙම මගපෙන්වීම අනුගමනය කරන මෙන් සියලු මුස්ලිම් ජනයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

 

අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්

ලේකම් - ෆත්වා අංශය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

15.03.2020

19.07.1441

සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය මුස්ලිම් ජනතාවගෙන් කරන ඉල්ලීම

 

කොරෝනා වෛරසයේ බලපෑම පාලනය කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව “ජනතාව රැස්වන අවස්ථාවන් වැළැක්විය යුතුයි” යන තීරණය මත සියළුම ජුම්මා නැමදූම හා පස්වේල සාමූහික නැමදුම් ඇතුළු අනෙකුත් සියලුම රැස්වීම් ද වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය රටේ මුස්ලිම් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මෙවැනි අවස්ථාවන් වල ක්‍රියා කළ යුතු පිළිවෙල සම්බන්ධව රජයේ උපදෙස් හා සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ උපදෙස් අනුගමනය කරන ලෙසත් මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සියලු මස්ජිදයන්හි පරිපාලකයන් සහ මස්ජිද් සම්මේලනයන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.

 



අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය

 

15.03.2020

19.07.1441

රට තුළ Covid-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ දැනුවත් කිරිම්

  1. ජුමුආ නැමදුම ඇතුළු වූ පස්වේල සාමූහික නැමදුම් හා  මස්ජිදය  තුළ හෝ පොදු ස්ථානවල අනෙකුත් සෑම එක්රැස්වීම් වලින් වැළකී සිටීම.
  2. සෑම මස්ජිදයේම නිසි වේලාවට අදාන් කිව යුතුයි. එසේම අදානය අවසානයේදී “සල්ලූ ෆී රිහාලිකුම්”  (ඔබලා රැඳී සිටින ස්ථානවලම සලාතය ඉටු කරගන්න.) (සහීහ් මුස්ලිම් - 697) යනුවෙන්  දැනුම් දීම.
  3. මස්ජිදය තුල සිටින මෞලවි  තුමා හා මුඅද්දින් නැමැති ප්‍රචාරකයා වැන්නන් මස්ජිදයේම සාමූහිකව සලාතය ඉටු කරීම.
  4. නිවෙස් වල සිටින්නන් පස් වේල සලාතය නිසි වේලාවට සාමූහිකව ඉටුකිරීම. තහජ්ජුද් නැමැති රාත්‍රී කාල සලාතය, ලුහා සලාතය, දන් දීම හා උපවාසයන් වැනි අමතර නැමදුම් වල වැඩි අවධානයක් යොමු කරන අතරතුර පාප කර්මයන්ගෙන් මිදී සිටීම.
  5. දුවාදරුවන්ට නිවාඩු ලැබී ඇති නිසා ඔවුන් විනෝද සංචාර, මහමග රැස්වී සෙල්ලම් කිරීම වැනි දේවලින් වැළකී කුර්ආන් පාරායනය කිරීම, ප්‍රාර්ථනයන්හි නියැලීම තවද ඉගෙනීම්  ඉගැන්වීම් වැනි  යහ ක්‍රියාවන්වල නිරත කිරිමට දෙමව්පියන් දැඩි අවධානය යොමු කිරීම.
  6. කෙනෙක් තම සහෝදරයෙක් හමුවූ විට ඔහුට සලාම් කීම හා අතට අත දීම (මුසාෆහා) නබිතුමාගේ මග පෙන්වීම් වලින් එකකි. නමුත් covid-19 නැමැති රෝගය අතිනත දීම නිසා අධිකව ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බව වෛද්‍යවරුන්ගේමතය වන නිසා  මුණගැසීම් වලදී අතින් අත දීමෙන් වැළකී සලාම් කීමෙන් ප්‍රමාණවත් කර ගැනීම .
  7. ජනාසාව නැමැති මෘතශරීරයට ඉටු කළ යුතු වගකීම් ආගමික නීති රීතීන් වලට අනුව කිරිම අපගේ වගකීමකි. නමුත් මේ කාලවකවානුව සැලකිල්ලට ගෙන මෘත ශරීරයට ඉටු කළ යුතු ඉතා අත්‍යවශය වගකීම් පමණක් ඉටු කිරීමෙන් ප්‍රමාණවත් කර ගැනීම.
  8. Covid-19 නැමැති මෙම කෲර රෝගයෙන් ආසාදනයට ලක් වූවන්ට ඉක්මන් සුවය ලැබීමට ප්‍රාර්ථනා කිරීම, ඔවුන් සමග කාරුණිකව හැසිරීම හා හැකිතාක් ඔවුන්ට උදව් කිරීම අපගේ වගකීමකි.
  9. මෙම කෲර රෝගය මෙරටින් හා මුළු ලොවින්ම තුරන් වීමට සෑම දෙනාම ප්‍රාර්ථනා කිරීම.
  10. සමාජ ජාල තුලින් ආගමට පටහැනි හා පදනමක් නොමැති පුවත් පැතිරවීමෙන් වැළකී සිටීම.

 

සැලකිය යුතු කරුණු: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම පරිදි හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන තවද අන්තර්ජාතික මුස්ලිම් විද්වතුන්ගේ සහ මුස්ලිම් සංවිධාන වල තීරණයන් පදනම් කොට ගෙන  සමස්ථ ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය විසින් ඉහත දැනුම්දීම දෙන ලදී.

අල්ලාහ් මතම අප විශ්වාසය තබමු ඔහුම අපිව ආරක්ෂා කරන්නා වේ.

 


අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය

29.01.2020 /03.06.1441

 

ලොවම කම්පා කරමින් සිටින කොරෝනා වයිරසය චීනයේ දහස් ගණනකට ආසාදනය වී ඇති අතර ලොව තවත් රටවල් කිහිපයකින්ද මෙම රෝගය වැළඳුනු පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව හා මරණයට පත්වූවන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතියි. මරණයට පත් වුවන්ගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප‍්‍රකාශ කරන අතර ආසාදන වුවන් ඉක්මන් සුවය ලබන්නට අල්ලාහ්ගෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

 

එමෙන්ම මෙවන් දුර්භික්‍ෂ අවස්ථාවල අල්ලාහ්ගේ දයාව හා ආශීර්වාදය ලබා ගැනීම සඳහා කළ යුතු විශේෂ යහකි‍්‍රයා හා ප‍්‍රාර්ථනාවල යෙදෙන මෙන්ද මුළු ලොවටම ඇති වී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය ඉක්මනින්ම මගහරවන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින මෙන්ද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි.

 

මෙවන් අවස්ථාවකදී අනවශ්‍ය හා අසත්‍යය පුවත් සමාජ ගත කිරීම හා සමාජ ජාලා වල ප්‍රචාරණය කිරීම අනවශ්‍යය ගැටළු හා ජනයා තුළ අනිසි බියක් ඇති වීමට හේතු විය හැකි හෙයින් ඉන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු.

 

එමෙන්ම සෞඛ්‍ය නිලධාරීන් හා අදාල බලධාරීන් විසින් මහජන ආරක්‍ෂාව සඳහා ලබා දෙනු ලබන උපදෙස් හා නිර්දේශ එලෙසින්ම අනුගමනය කළ යුතු අතර රෝග අවදානම තිබෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටින මෙන් ඉස්ලාමය මගපෙන්වා ඇත. යම් ප‍්‍රදේශයක වසංගතයක් පැතිර තිබෙන බව දැන ගත් විට එම ප‍්‍රදේශයට නොයන ලෙසද තමා එක් ප‍්‍රදේශයක සිටින විට එහි වසංගතයක් පැතිරුනහොත් එම ප‍්‍රදේශයෙන් පිට නොවන මෙන්ද නබි මුහම්මද් (සල්) තුමාණන් කියනු තමා ඇසු බව අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් (රලි) තුමාණන් දන්වා සිටියි. (ග්‍රන්ථය : බුහාරී 5729)

 

මෙවන් ව්‍යසන අවස්ථාවල අප පාරායණය කිරීම සඳහා පහත ප්‍රාර්ථනාව කාරුණික නබි මුහම්මද් (සල්) තුමාණන් අපට උගන්වා ඇත;

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَمِنْ سَيِّئِ الأَسْقَامِ

අරුත: අල්ලාහ්, සුදු කබර, පිස්සුව, ලාදුරු හා භයානක රෝගවලින් ඔබගේ ආරක්‍ෂාව පතමි. (ග්‍රන්ථය : අබූදාවුද් 1554)

 

මෙවන් දරුණු රෝග හා ව්‍යසනවලින් අල්ලාහ් අපව ආරක්‍ෂා කරත්වා. ආමීන්.

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව (සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව)