2021.06.30
සියලු ප්‍රශංසා සර්ව බලධාරී අල්ලාහ්ට හිමිය. සලාත් නැමැති ශාන්තිය සහ සලාම් නැමැති සමාදානය නබි මුහම්මද් (සල්) තුමාණන් සහ එතුමන්ගේ අනුගාමිකයන් සහ සමකාලීන අනුගාමික සගයන්හට අත් වේවා!
කුළී පදනම යටතේ දීම යනු යම් දේපළක් එහි හිමිකරු විසින් වෙනත් අයෙකුට නිශ්චිත කාලයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් භාවිතයට දීමයි. මෙම ගනුදෙනු ක්‍රමය ඉස්ලාම් දහම තුළින් අනුමත කොට ඇත.
කුළී පදනම යටතේ සිදුවන ගනුදෙනුවේදී දේපළ හිමියාට මාසිකව කුළිය ලබා ගත හැකිය, නැතහොත් ගනුදෙනුවේ ගිවිසුම සිදුවන අවස්ථාවේදී එය සම්පූර්ණයෙන් ලබාගෙන මාසික ගෙවීමක් අඩු කරගත හැකිය.
බදු පදනම යටතේ දීම නමින් ගනුදෙනු ක්‍රමයක් වර්තමානයේ බහුලව දක්නට ලැබේ. එනම්, දේපළ හිමියා විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගෙන, කිසිඳු කුළියක් නොගෙන හෝ ඉතා සුළු මාසික කුළියක් ගෙවන කොන්දේසිය මත නිශ්චිත කාලයක් සඳහා තම දේපළ පරිහරණය සඳහා වෙනත් අයෙකුට දීමයි. එම කාලය අවසානයේදී ඔහු ලබා ගත් විශාල මුදල නැවත හරවා දී තම දේපළ නැවත ලබා ගනී.
මෙය ඉස්ලාම් ආගමික නීති මාලාවට අනුව අනුමැතිය නැත. මන්දයත් ආපසු ගෙවීමේ කොන්දේසිය මත ලබා දෙන මුදල ණයක් වන අතර ණය කේන්ද්‍රගත කිරීමෙන් කිසිඳු ප්‍රතිලාභයක් නොලැබිය යුතු අතර එසේ ගැනීම පොළියක් වනු ඇත.
බදු පදනම යටතේ මුදල් දුන් තැනැත්තා මුදල් ලබා ගත් තැනැත්තාගේ දේපළ භාවිත කිරීම එම මුදල් වෙනුවෙන් ලබන ප්‍රතිලාභයක් ලෙස සැලකේ. මෙයට හේතුව, මුදල් දුන් තැනැත්තා විසින් දේපළ භාවිත කිරීමට අවසර ලැබීම යන කොන්දේසිය මත මුදල් දීමයි. එම කොන්දේසියට දේපළ හිමියාගේ අනුමැතිය නොලැබුනහොත් ඔහු විසින් මුදල් නොදෙනු ඇත. එහෙත් බදු පදනම යටතේ මසකට ඉතා සුළු මුදලක් කුළියක් වශයෙන් ගත්තද, එය ද පොළියක් වනු ඇත.
ඊට හේතුව, දේපළ හිමියා තමාට ලැබුණු විශාල මුදල නිසා කුඩා කුළියක් වුවද ලබා ගැනීමට එකඟ වීමයි. තවද එසේ විශාල මුදලක් නොලැබුනහොත් ඔහු ඊට එකඟ නොවන බැවිනි.
එබැවින් බදු පදනම යටතේ දීම කිසිසේත් ඉස්ලාම් දහම තුළ අනුමැතිය නැත. නමුත් නිශ්චිත කාලයක් සඳහා දේපළ කුළියට ගැනීම අනුමැතිය ඇති අතර එහි කුළිය එකවර මුළුමනින්ම හෝ මාසිකව හෝ ලබා ගැනීමට අනුමැතිය ඇත.
අල්ලාහ් සර්වඥය.
වස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ.