ACJU/MED/2020/003

19.05.2020

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ශෝක පණිවිඩය

ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත අපව බලවත් ශෝකයට පත් කරයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උගතුන්ගෙන් එක් අයෙකු සහ බෙරුවෙල හි ජාමිආ නාලීමියා විශ්ව විද්යාලයෙහි අධ්‍යක්ෂකයෙකු වන ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමන් අද දින (2020.05.19) අභාවයට පත් වූහ. ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්. එතුමන්ගේ අභාවය ශ්‍රී ලංකා ජනතාවට අත් වූ විශාල පාඩුවකි.

සිය ජීවිතය අධ්‍යාපනයට හා දහමට කැප කළ එතුමන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමඟ යහ සම්බන්ධතා පවත්වමින් පැමිණියහ. අවශ්‍ය විටෙක සුදුසු උපදෙස් ලබාදීමට ද එතුමන් පසුබට නොවීය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් පැවැත් වූ සම්මන්ත්‍රණ බොහෝමයක කථිකයෙකු වශයෙන් සහභාගී වී වර්ණවත් කළහ.

ග්‍රන්ථ කිහිපයක කතෘවරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක කථිකාචාර්ය වර‌යෙකු ද විය. සිසුන් දහස් ගණනක ගුරුවරයෙකු වූ අතර මධ්‍යස්ථ ආකල්පයකින් කටයුතු කළ අයෙකි සහ ආගමික විද්වතුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි.

ජාමිආ නාලීමියා විශ්ව විද්යාලය සමඟ එක් ව කටයුතු කළ එතුමන් අවසානය දක්වා අධ්‍යාපනය වෙනුවෙන්ම තම ජීවිතයම කැප කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විද්වතුන් මෙලොවට බිහි කළ ආඩම්භරය එතුමන්ට හිමි වේ.

සර්ව බලධාරී අල්ලාහ්, ඔහුගේ යහපත් ක්‍රියා පිළිගෙන, සියලු වැරදි හඳුනා ගනිමින් යහපත් ගැත්තන් සමග එක්කාසු කරත්වා, ඔහුගේ පවුලේ උදවියට හා ඔහුගේ සියලු සිසුන්ට සැනසීම සහ යහකුසල් හිමි කරත්වා!

ආමීන්.

 

අෂ් ෂෙයික් එම්. එම්. ඒ. මුබාරක්

මහා ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

ACJU/MED/2020/002

2020.05.18

රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධ මාර්ගෝපදේශ

කෝවිඩ්-19 ව්‍යසනයේ පැතිරීමත් සමගම රමළාන් මාසයේ වැඩි දින සංඛ්‍යාවක් අප උපවාස ශිලයේ යෙදී අවසාන දින කිහිපයට අවතීර්ණ වී සිටින්නෙමු. වර්තමානයේ මුළු ලොවටම ඇතිව තිබෙන ව්‍යසනයෙන් ලොවැසි සියල්ලන්වම ගලවා ගන්නා මෙන් මෙම ශුද්ධ වූ මාසයේ දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කරන අතර මෙම අසිරිමත් මාසයේ අවසාන දින කිහිපයෙහි පහත මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් ද සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි;

රමළාන් මස අවසන් දින කිහිපය සම්බන්ධව:

  • රමළාන් මාසයේ අවසාන දින කිහිපය අපට බොහෝ කුසල් ලබා ගත හැකි කාලපරිච්ඡේදයකි. එහෙයින් මෙම දිනවල ලෙයිලතුල් කද්ර් රාත‍්‍රිය මුල් කර ගත් යහකි‍්‍රයාද අපගේ නිවෙස්වල සිටම ඉටුකර ගත යුතුය.
  • රමළාන් මාසයේ අවසාන දින කිහිපය තුළ ඉතිකාෆ් හා රාත්‍රී නැමදුම් ආදිය ඉටුකිරීම සදහා මස්ජිද් හි එක්රැස් නොවී මේ සම්බන්ධව වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් නිසි අයුරින් පිළිපැදිය යුතුයි.
  • ඇතැම් දිස්ත‍්‍රික්කවල අවදානම් තත්ත්වය අනුව ඇඳිරි නීතිය ක‍්‍රමක‍්‍රමයෙන් ලිහිල් කෙරෙමින් පවතියි. අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් සඳහා පමණක් නිවසින් පිටව යා යුතු අතර එසේ නිවසින් පිට වන විට මුඛාවරණය පැළඳ ගැනීම මෙන්ම සමාජ දුරස්ථභාවය සම්බන්ධ රජයේ නිර්දේශ ද එලෙසින්ම අනුගමනය කළ යුතුය. මෙවන් අවස්ථාවන්හි ඉහත කී මගපෙන්වීම් පිළිපැදීම ඉස්ලාම් දහමේ ඉගැන්වීම වන හෙයින් මේ විෂයෙහි මුස්ලිම්වරුන් ආදර්ශමත් අයුරින් කටයුතු කළ යුතුයි.
  • මෙවර ඊද් උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමට කඩ සාප්පුවලට පිරිස් වශයෙන් යෑමෙන් සම්පූර්ණයෙන් වැළකි සිටියි යුතුය. මේ සම්බන්ධව රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ එලෙසින්ම අනුගමනය කළ යුතු අතර හැකි පමණින් නිවසට භාණ්ඩ බෙදාහැරීමේ සේවා (Home Delivery) හරහා ලබා ගැනීමට කටයුතු කිරීම ආරක්ෂිත ක්‍රමවේදයකි.
  • සකාතුල් ෆිත්ර් දීම අනිවාර්ය වන්නන් ඊදුල් ෆිත්ර් නැමදුමට පෙර එය ඉටු කළ යුතුය. එමෙන්ම පෙරදී මගපෙන් වූ අයුරින් මස්ජිදය හරහා සිදු කිරීම යෝග්‍ය වනු ඇත.

ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධව:

  • මෙවර ඊදුල් ෆිත්ර් දිනය ඉතා අපහසු වාතාවරණයක සමරන බව සිහි තබාගනිමින් රටේ හා මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සදහා නිර්දේශකොට ඇති මගපෙන්වීම් නිසි අයුරින් පිළිපදිමින් කටයුතු කළ යුතුයි.
  • ඊදුල් ෆිත්ර් නැමදුම මස්ජිද් වල හෝ එළිමහන් බිම් හි පිරිස් වශයෙන් රැස්වී ඉටුකිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. ඒ සදහා තම නිවසේ නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් ඉටුකර ගත යුතුය.
  • මෙවර ඊදුල් ෆිත්ර් නැමදුම නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිත අන්දමින් ඉටුකිරීමට සුදානම් කරගත යුතුයි. එමෙන්ම අනවශ්‍ය ගමන්බිමන් හා එක්රැස්වීම් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි.
  • ඊදුල් ෆිත්ර් දින හෝ වෙනත් දින වල අන් අය හමු වූ විට අතට අත දීම හෝ වැළඳ ගැනීම (මුසාෆහා/මුආනකා) ආදිය නොකළ යුතුය.
  • ශව්වාල් හඳ දිස් වුනු මොහොතේ සිට ඊදුල් ෆිත්ර් නැමදුම ඉටුකරන තෙක් අදාන් ඇරයුමට පසු ශබ්ද විකාශනය හරහා මස්ජිද්වල තක්බීර් ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතුය.
  • ඊදුල් ෆිත්ර් උත්සව සමයේ දී දුගී දුප්පත් උදවිය විෂයේද අවධානය යොමු කරමින් එවන් අය සොයා හැකි අන්දමින් උදව් උපකාර කළ යුතුයි.

සර්ව බලධාරී අල්ලාහ්, අපගේ උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා පිළිගනු මැනව. මෙම වසංගතයෙන් ලොවැසි සියල්ලන්ව ආරක්‍ෂා කරත්වා. ආමීන් !

වස්සලාම්,

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික් විද්වතුන්ගේ සභාව

සැ:යු : ඉහත මාර්ගෝපදේශ සුදුසු වේලාවකට අදාන් ඇරයුමට පසු මස්ජිදයේ ශබ්ද විකාශනය හරහා ප‍්‍රදේශවාසීන්ගේ දැන ගැනීම පිණිස ප‍්‍රකාශ කිරීමට පියවර ගන්නා මෙන් මස්ජිද්වල පරිපාලනයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම මගපෙන්වීම් කි‍්‍රයාත්මක කිරීමට සහයෝගය ලබා දෙන මෙන් සැමගෙන්ම ඉල්ලා සිටිමු.

2020/05/10

මාධ්‍ය ප්‍රකාශය

මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයකි

පසුගිය අප්‍රේල් මස 15 වන දින www.colombotoday.com වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබූ ප්‍රවෘත්ති වාර්තාව, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ (ACJU) අවධානයට යොමු කළෙමු. ‘කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ (අළු) භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි අප සභාපති මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය වාර්තාවකි.

මන්දයත්, මිනිසෙකු මරණයට පත් වීමෙන් අනතුරුව භූමදානය කළ යුතු යැයි ඉස්ලාමය තුළින් අවධාරණය කරයි. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට; එම දේහය සේදීම, කෆන් හෙවත් රෙද්දකින් ආවරණය කිරීම, මරණය සදහා වූ නැමදුම ඉටු කිරීම සහ භූමදාන කිරීම යනාදී කරුණු ජීවතුන් අතර සිටින්නන්ට නියම වන්නේය.

මළවුන් පුළුස්සා දැමීම හෝ ආදාහනය කිරීම ඉස්ලාමයේ තහනම් කර ඇති අතර මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. නමුත් වර්තමානයේ අප මුහුණ දෙමින් තිබෙන ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයකදී, විශේෂයෙන් ඉස්ලාමය ප්‍රායෝගික දහමක් වීම නිසා ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අපට මඟ පෙන්වනු ලැබ ඇත. අවදානම් අවස්ථාවන්හිදී හෝ බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.

නමුත් ඉහත වෙබ් අඩවිය එම වාර්තාව පළ කිරීමට උපුටා ගත් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී අප සභාපති වරයා මුස්ලිම් ප්‍රජාවට ලබා දුන් මඟපෙන්වීම වූයේ අසාමාන්‍ය හෝ බලහත්කාර තත්ත්වයකදී මුස්ලිම්වරයෙකු ප්‍රතිචාර දැක්විය යුතු හෝ හැසිරිය යුතු ආකාරයයි. කිසිම අවස්ථාවක එය සාමාන්‍ය තත්ත්වයකදී සිදුකළ යුතු දෙයක් ලෙස අප අර්ථකථනය නොකළ යුතුය. මුළු ලෝකයම අර්බුදයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, රටේ වගකිවයුතු පුරවැසියෙකු සහ ප්‍රජා නායකයෙකු වශයෙන් ඉවසීම හා සන්සුන් භාවය කරා ජනතාව මෙහෙයවීමට එතුමන් උපරිම උත්සාහයක් ගෙන තිබේ. කිසිම අවස්ථාවක අපගේ ක්‍රියාවන් හා ප්‍රවේශය ජනතාව අතර ප්‍රචණ්ඩත්වයක් හා කැලඹීමක් ඇති කර රටේ නීතියට පටහැනි නොවිය යුතුය යැයි එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දුන් අතර එහිදී එතුමන් ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිකයින් යන සියලු දෙනාම භූමදානය කිරීම සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබේ යනුවෙන්ද ප්‍රකාශ කළහ.

එහිදී එතුමන් මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත බව ප්‍රකාශ කළා යැයි වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීම ඉතා අසත්‍ය බව දන්වන්නට කැමැත්තෙමු.

 

මාධ්‍ය අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

ACJU/MED/2020/001

2020.05.06

ඇඳිරි නීතිය ලිහිල් කිරීම හා රමළාන් මාසයේ ඉතිරි දින කිහිපය සම්බන්ධ උපදෙස්

කෝවිඩ්-19 වසංගතයේ අවදානම තවමත් අප රටින් මුළුමනින්ම ඉවත් නොවී තිබුණ ද මහජන අවශ්‍යතාව තකා යම් කොන්දේසි හා උපදෙස් සහිතව පවතින ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජය පියවර ගනිමින් සිටියි. මෙවන් තත්ත්වයක පුරවැසියන් ලෙසින් වගකීමෙන් යුතුව හා අපගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ප‍්‍රවේශමින් අප කටයුතු කළ යුතුය. රජය විසින් නියම කරන උපදෙස් හා කි‍්‍රයාමාර්ග එලෙසින්ම අනුගමනය කළයුතු අතරම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් දෙනු ලබන පහත කරුණුද සැලකිල්ලට ගනිමින් කටයුතු කරන මෙන් ලාංකික මුස්ලිම් ප‍්‍රජාවගෙන් අප ඉල්ලා සිටිමු.

  • රමළාන් මාසය උදා වන්නට දින කිහිපයකට පෙර අප විසින් ලබා දෙන ලද උපදෙස් අනුව ලාංකික මුස්ලිම් ජනයා කටයුතු කරමින් සිටීම ගැන සතුටු වන අතර ම සියලු ප්‍රජාවන්ගේ දෙළොව ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරන්නෙමු. එම උපදෙස් ඉදිරි දින කිහිපයටත් එලෙසින්ම අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම සලාතය, කුර්ආන් පාරායනය, ප‍්‍රාර්ථනා ආදියෙහි වැඩි වැඩියෙන් නිරත විය යුතු යැයි ඉල්ලා සිටින්නෙමු.
  • කොරෝනා තර්ජනය තවමත් පහව ගොස් නොමැති හෙයින් රජය විසින් ඇඳිරි නීතිය පියවරෙන් පියවර ලිහිල් කළ ද අප ඉතාමත් ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. ඒ අනුව රජයට උපරිම සහය ලබා දෙමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අකුරටම පිළිපැදිය යුතුය. අපගේ හා පවුලේ අයගේ මෙන්ම රටේ ජනතාවගේද සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු වන්නේ අප සැම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළහොත් පමණි.
  • සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම කොරෝනා උවදුර තුරන් කිරීමේ එක් වැදගත් පියවරක් හෙයින් ඒ පිළිබඳ අප සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම මුඛ ආවරණය (MASK) හා නිතර අත් සෝදා ගැනීම, අවශ්‍යතාවක් නොමැතිව නිවසින් පිටතට නොයෑම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. මෙවන් අවස්ථාවකදී ඉහත කී උපදෙස් පිළිපැදීම ඉස්ලාමීය හරය වන හෙයින් ඒ පිළිබදව මුස්ලිම්වරුන් ආදර්ශමත්ව කටයුතු කළ යුතුය.
  • රමළාන් ඊදුල් ෆිත්ර් උත්සව සමයෙහි භාණ්ඩ මිලදී ගැනීම සදහා කණ්ඩායම් වශයෙන් කඩසාප්පුවලට යාමෙන් අප මෙවර වැළකී මේ පිළිබදව රජය හා සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි අයුරින් පිළිපැදිය යුතුය. හැකි පමණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ සේවා (HOME DELIVERY SERVICE) හරහා මිල දී ගන්නට පියවර ගැනීම ආරක්ෂිතය.
  • රටේ වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගනිමින් අපගේ ඊදුල් ෆිත්ර් උත්සව කටයුතු හැකි පමණ චාම් අන්දමින් නිවසේ සාමාජිකයන් සමග පමණක් සීමා කරගත යුතුය. (ඉන්ෂා අල්ලාහ් ඊදුල් ෆිත්ර් උත්සවය සම්බන්ධ විස්තරාත්මක මගපෙන්වීම් එම දිනවලට අදාළව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් ලබා දෙනු ඇත.)
  • රටේ බොහෝ තැන්වල එක දිගටම ඇඳිරි නීතිය පනවා තිබුනු හෙයින් දෛනික ආදායම් ලබන ජීවනෝපාවල යෙදී සිටි බොහෝ අපගේ සහෝදර ලාංකිකයන් දැඩි ආර්ථික අසීරුතාවලට ලක්ව තිබීම හා මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි. ඔවුනට කිසිදු භේදයකින් තොරව උදව් කිරිමට අප සියල්ලන්ම ඉදිරියට ආ යුතුයි. අපගේ ඊද් උත්සවය වෙනුවෙන් වැය කරන මුදල් උපරිමයෙන් සීමා කොට මෙවන් යහක්‍රියාවන්ට වැය කිරීම කාලෝචිතය.
  • මෙම සමයෙහි වැඩි වැඩියෙන් සදකා, සකාත් වැනි දන්දීම් මගින් අන් අයට පිහිට වන මෙන් හා සකාතුල් ෆිත්ර් දන්දීමද නිසි දිනවලට, ලැබීමට සුදුසුකම් ඇති සහෝදර සහෝදරියන්ට ලබා දීමට කටයුතු කළ යුතුය.
  • පෙරදීම වක්ෆ් මණ්ඩලය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උපදෙස් මස්ජිද් පරිපාලකයින් විසින් අනුගමනය කළ යුතුය.
  • මස්ජිද්වලට සලාතය සඳහා රැස්වීමට පවා තහනමක් පවතින මෙම දිනවල අප පිරිස් වශයෙන් කිසිදු ස්ථානයක රැස්වීමෙන් වැළකී සිටිය යුතුය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද අප ඉතාමත් අවධානයෙන් නිසි උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම මගින් අපට හා අපගේ සමුහයාට ඇති විය හැකි අනවශ්‍ය ප‍්‍රශ්න වළකාගත හැකිය. ඉහත කී උපදෙස් සියලු මුස්ලිම් ජනයා අනුගමනය කරන මෙන් ද මෙම උවදුර ඉවත් කර ජන ජීවිතය යතා තත්ත්වයට නොපමාව පත් කර දෙන මෙන් මෙම ශුද්ධ වූ රමළාන් මාසයේ අල්ලාහ්ගෙන් අයැදින මෙන් ද සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකීය මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

සැ: යු:

ඉහත කී මගපෙන්වීම් අසාන් නැමැති ඇරයුමට පසු යම් වේලාවක්  තෝරාගෙන මස්ජිද් ශබ්ද විකාශනය හරහා සමාජ ගත කිරීමට කටයුතු කරන මෙන් මස්ජිද් පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින අතර මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා සහයෝගය දක්වන මෙන් අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ACJU/NGS/2020/007

2020/04/21 (1441/08/27)

පසුගිය වසරේ පාස්කු ඉරු දින සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව

පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරු දින අපේ රටේ සිදු වූ කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර පිළිබදව මෙරට සියලු ජනයා මහත් ශෝකයකින් හා බලවත් කම්පනයකින් සිහිපත් කරන මෙම මොහොතේ අපගේ බලවත් කණගාටුව ද ප්‍රකාශ කරන අතර නැවත වරක් එම ම්ලේච්ඡ ක්‍රියාව තරයේ හෙළා දකිමු.

ඒ අතරම, මෙවැනි සිදුවීම් වලින් මියගිය සහ දුක් විඳින අයගේ ඥාතීන්ට අපගේ ගැඹුරු කම්පාව සහ කණගාටුව පිරිනමන අතර ඥාතීන් අහිමිවූවන්ට සන්සුන් භාවය හා ජීවිතයේ සෑම ආකාරයකම යහපත් දෑ අත් විය යුතු යැයි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

අහිංසක වන්දනාකරුවන් සහ අනෙකුත් සිවිල් වැසියන් ඔවුන්ගේ පූජනීය ස්ථානවල ඝාතනය කිරීම ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක් බවට කිසිදු සැකයක් නැත. මෙය කරන අය මනුෂ්‍යත්වයේ සතුරෝ ය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවට සම්බන්ධ ඕනෑම කෙනෙකුට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුය.

ශුද්ධ වූ අල් කුර්ආනයෙහි 5 වන පරිච්ඡේදයෙහි 32 වන වැකියෙහි

“කවරෙකු (අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය’ තවද ‘කවරෙකු ආත්මාවක් ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය.” යනුවෙන් සර්වබලධාරී අල්ලාහ් සඳහන් කොට ඇත.

බෞද්ධ, කිතුනු, හින්දු හා ඉස්ලාම් ඇතුළු කිසිදු දහමක් ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන බව අපි දනිමු. කෙසේ වෙතත්, පොදුවේ කුමන දහමක් තුළ ද, එම දහමේ නාමයෙන් එහි ඉගැන්වීමට සම්පූර්ණයෙන් පටහැනිව ක්‍රියා කරන හා විනාශකාරී ක්‍රියා සිදු කරන පිරිසක් සිටීම අපට පෙනේ. කෙසේ වෙතත්, එවැනි නොමග ගියවුන් කිහිප දෙනෙකුගේ නින්දාසහගත හැසිරීම ප්‍රමාණ කිරීම මගින් කිසිදු දහමක් හෝ එහි අනුගාමිකයින් ඇගයීම සාධාරණ නොවන බව අපි මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙම භයානක සිදුවීමෙන් ඉක්බිතිව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ස්ථීර පියවර ගනිමින් ප්‍රමුඛව කටයුතු කළ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ට සහ පීඩාවට ලක් වූ ඉවසිලිමත් ජනතාවට අපගේ අවංක කෘතඥතාව පළ කර සිටිමු.

එමෙන්ම අප සියලු දෙනාම මෙම මාතෘ භූමියේ දුවාදරුවන් වීමෙන් අප අතර ඇති ගැටළු සහ මතභේද මෘදුව සංවාදශීලීව විසඳා ගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතු බව මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමු.

දහම, භාෂාව සහ භූමිය ඇතුළු සියලු වෙනස්කම් වලින් ඔබ්බට ගොස් අපේ ජාතිය ගොඩනැගීම සඳහා අප සියලු දෙනාම එක්සත් වී එකට අත් වැල් බැඳ ගත යුතු කාලය පැමිණ ඇති බව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කවුරුත් තේරුම් ගනිමු.

සර්වබලධාරී අල්ලාහ් අපේ රට සියලු ආකාරයේ අන්තරායන් හා විපත් වලින් ආරක්ෂා කරත්වා! ශාන්තිය හා සාමය පවත්නා උයනක් බවට පත් කරත්වා!

ස්තූතියි

 

අෂ් ෂෙයික් එම්. එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

ACJU/NGS/2020/003

2020/04/17 (1441.08.23)

දුෂ්කර වාතාවරණයක රමළාන් මාසය සඳහා මගපෙන්වීම

අල්ලාහ් විසින් ශුද්ධ අල් කුර්ආනය පහළ කිරීම හේතුවෙන් රමළාන් මාසය ගෞරවයට පත් කර ඇත. තවද රමළානය යනු ප‍්‍රාර්ථනාවේ හා ඉවසීමේ මාසයයි. මෙම සුවිශුද්ධ මාසයෙහි ලොව පුරා මුස්ලිම් ජනයා ආගමික විද්වතුන්ගේ මගපෙන්වීම් හා උපදෙස් අනුව යහ ක‍්‍රියාවල වැඩි විඩියෙන් හා  ඕනෑකමින් යොමු වේ.

පසුගිය කාලයට වඩා මෙවර රමළානය අපහසු වතාවරණයක් සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. වර්තමානයේ කොවිඩ්-19 වයිරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා ලොව බොහෝ රටවල් පාහේ අගුලු දමා ඇත. ඒ අනුව අපගේ රජයද මෙහි ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ පියවර ගනිමින් සිටින අතර රට අගුලූ දැමීම මගින් ජනයා එක් රැස්වීම හා මිනිසුන් සමීපව ගැවසීම වළකාලන අරමුණින් ඇඳිරි නීතිය රටපුරා පනවා තිබීම ද අපි දනිමු.

මෙවන් තත්ත්වයක මුස්ලිම්වරුන් වන අපි රටේ නීතියට අවනත වෙමින් රාජ්‍ය නිර්දේශවලට අනුකූලව මෙවර රමළාන් මාසයේ ආගමික කටයුතු පහත දැක්වෙන අයුරින් පවත්වා ගත යුතු යැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලාංකික මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි;

රමළාන් මාසයෙහි අනුගමනය කළ යුතු විශේෂ මගපෙන්වීම්

  1. ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලබන මෙම සුවිශේෂී මාසයෙහි ලොවට ඇති වී තිබෙන මෙම වසංගත උවදුර ඉවත් වී මිනිසුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය අතට නැවත පත් වීමට, තම අවශ්‍යතා ඉටුවීමට හා රටේ ජනතාව සුවපහසුවෙන් ජීවත් වීමට අප අල්ලාහ්ගෙන් අයැද සිටිය යුතුය. උපවාසය නිම කරන ඉෆ්තාර් සමය, සහර් වේලාව, අදාන් හා ඉකාමත් අතර ඇති වේලාව ආදිය ප‍්‍රාර්ථනා සඳහා නොවරදවා යොදා ගත යුතුය.
  2. ශුද්ධ අල් කුර්ආනය පහළ කරනු ලැබූ රමළාන් මාසයෙහි අල් කුර්ආනයට වැඩියෙන් අප සමීප විය යුතුය. ඒ අනුව ශුද්ධ අල් කුර්ආනය වැඩි වැඩියෙන් පාරායණය කිරීම එහි උපදෙස් අනුව ජීවිතය හැඩගස්වා ගැනීම එය ගැන අන්අයට පැහැදිලි කර ඒ අනුව කටයුතු කරන්නට උනන්දු කිරීම ආදිය ශුද්ධ අල් කුර්ආනය කෙරෙහි වූ අපගේ වගකීමයි.
  • මක්තබ් හා අල් කුර්ආන් මද්රසා සිසුන්ට දිනපතා අල් කුර්ආනය පාරායණය කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් මක්තබ් ප‍්‍රධාන කාර්යාලය විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව නිවසේ තම ළමුන් කටයුතු කිරීම සඳහා උනන්දු කරවන මෙන් හා සහය දක්වන මෙන් දෙමාපියන් හා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
  • ඉමාම්වරුන්, උස්තාද්වරුන්, මක්තබ් ආලිම්වරුන් හා ආලිමාවරියන් හා මුආවින්වරු සියල්ලන්ම මෙම කාලය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත යුතු අතර හැකියාව හා පහසුකම් ඇති අය අන්තර්ජාලය ඔස්සේ සිය ඉගැන්වීම් කටයුතු සිදුකරන්නට සැලසුම් කිරීම කාලෝචිතය.
  • සෑම කෙනෙකුම වැඩි වැඩියෙන් ශුද්ධ අල් කුර්ආනය පාරායණය කළ යුතු අතර අවම වශයෙන් දිනකට ජුසු එකක් හෝ පාරායණය කිරීමට උත්සාහ කළ යුතුය.
  1. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පස්වේල සලාතය මෙන්ම තරාවීහ් වැනි සුවිශේෂි සලාතයන් සිය නිවැසියන් සමග පමණක් ජමාඅත් ලෙසින් නිවෙස්වලම ඉටු කිරිමට කටයුතු කළ යුතුය. මෙවිට කිසිසේත් අසල්වැසියන් රැස් නොකර ගත යුතු අතර මේ පිළිබඳ විශේෂයෙන් ප‍්‍රවේසම් විය යුතුය.
  2. සෑම නිවසකම දෛනික නැමදුම්, ආගමික කටයුතු හා අනෙකුත් සියලු කාර්යයන් සඳහා කාල සටහනක් සකසා නිවැසියන් ඒ අනුව නියමිත වේලාවලට අදාළ කටයුතුවල යෙදීමට සූදානම් කළ යුතුයි.
  3. පෙරදීම දැනුම් දී ඇති අයුරින් මස්ජිද්වල පස්වේල නැමදුම හා ජුමුආ නැමදුම සඳහා නැවත දැනුම් දෙන තුරු රැස්වීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ අනුව ඉස්ලාම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ වක්ෆ් මණ්ඩලය පනවා ඇති නිර්දේශ හා මගපෙන්වීම් දිවයිනේ සියලූ මස්ජිද්වල භාරකරුවන් පරිපාලකයන් එලෙසින්ම අනුගමනය කළ යුතුය.
  4. සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව පොලිස් මුලස්ථානය සහ අදාළ අනෙකුත් සංවිධාන හා ඒකාබද්ධව නිකුත් කර ඇති මගපෙන්වීම් අනුව කටයුතු කළ යුතු යැයි ඉල්ලා සිටිමු.
  5. යහක‍්‍රියාවල යෙදීමට අවධානය යොමු කළ යුතු අතර නිවසේ සිටම රාත්‍රී වේලාවන්හි නැමදුම් කටයුතු ඉටුකළ යුතුයි. එමෙන්ම අන්තර්ජාලයේ ඇති අනවශ්‍ය ක්‍රීඩාවල යෙදෙමින් කාලය නාස්ති කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
  6. මතභේද ඇති කරුනු සම්බන්ධයෙන් වාද විවාදවල නොපැටලී ආගමික විද්වතුන්ගේ මගපෙන්වීම් අනුව සන්සුන්ව කටයුතු කළ යුතුය.
  • මේ සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති “සමගියේ ප‍්‍රකාශය” කියවා ඒ අනුව කටයුතු කළ යුතු අතර අන්අය සමග බෙදා ගැනීම.
  • සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති “සමාජ සමගිය, කාලීන අවශ්‍යතාව හා ආගමික වගකීම” යන කෘතිය කියවා ඵල නෙළා ගැනීම.
  1. එදිනෙදා මුදල් උපයන දෛනික ශ‍්‍රමිකයන් අත්‍යාවශ්‍ය අවශ්‍යතාවන් සපුරා ගත නොහැකිව දුක් විඳින උදවිය වෙනුවෙන් මස්ජිදය මුල් කරගෙන සහනාධාර සේවා සැලසුම් කර කි‍්‍රයාත්මක කළ යුතුය.
  • මනුෂ්‍යත්වය අගය කරන කරමින් ආගමික භේදයෙන් ඔබ්බට ගොස් අවශ්‍යතා ඇත්තවුන් හදුනා ගනිමින් ඔවුන් කෙරෙහි සදකා හා හදියා ලබා දීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
  • සකාත් පිරිනැමිය හැකි ත්‍යාගශීලීන් ඒවා නිසි පරිදි ආලිම්වරුන්ගේ මගපෙන්වීම් අනුව ඉටු කළ යුතුය.
  1. සහනාධාර සේවාවන්හි නියැලෙන්නන් පෙදෙසේ අදාළ පොලිස් ස්ථානවල මගපෙන්වීම් අනුව හා අදාළ නිලධාරීන්ගේ අනුමැතිය සහිතව අදාළ නිර්දේශ සැලකිල්ලට ගනිමින් සහනාධාර සේවා සිදු කළ යුතුය.
  2. නිවෙස්වල රාත්‍රී නැමදුම් කටයුතු සිදු කරන විට, විශේෂයෙන් සහර් වේලාවල අන් අයට හිරිහැර ඇති නොවන ආකාරයෙන් ද ගුවන් විදුලි යන්ත‍්‍රය හෝ රූපවාහිනිය නිවසේ සිටින්නන්ට පමණක් ඇසෙන ලෙසින් අවම ශබ්දයෙන් තබා ගත යුතුය.
  3. තරුණයින්ගේ මගපෙන්වීම සඳහා වැඩිහිටියන්, ප‍්‍රධානීන් හා ආගමික විද්වතුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඔවුන්ගේ කාලය අල්ලාහ්ගේ තෘප්තියට අනුකූල වන අයුරින් හා අන් කිසිවෙකුට කරදරයක් නොවන ආකාරයෙන් තිබෙනු නිරන්තරයෙන්ම තහවුරු කර ගත යුතුය.
  4. උපවාසශීලයේ යෙදී ඇති අයෙකු තම සාමාන්‍ය කේටය ගිලීමෙන් උපවාසශීලය නොබිදෙන බව ආගමික ඉගැන්වීමකි. නමුත් අසාමාන්‍ය සෙමකැටි ආදිය කෙළ ගැසිය යුතුයි. එහෙත් කොරෝනා වයිරසය කැස්ස හා සෙම මගින් පැතිරෙන රෝගයක් යැයි අදාළ බලධාරීන් අනතුරු අගවා ඇති හෙයින් මහජනයා ගැවසෙන ස්ථානයන්හි කෙළ ගැසීමෙන් වැළකී සෞඛ්‍යාරක්‍ෂක කරුණු සැලකිල්ලට ගනිමින් කටයුතු කරන මෙන් සිහිපත් කරමු.
  5. ඉහත උපදෙස් හා මගපෙන්වීම් කි‍්‍රයාත්මක කිරීම විෂයයෙහි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සියලූම ශාඛා මෙන්ම ඒ ඒ පෙදෙස්වල මස්ජිද්වල පරිපාලකයන් හා මුස්ලිම් ප්‍රජාව විශේෂ අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එහෙයින් මෙම උපදෙස් පිළිපදිමින් ශුද්ධ රමළානය ඉමහත් අයුරින් ඵල නෙළා ගනිමු. අල්ලාහ්, මුළු ලොවම කම්පාවට පත් කර ඇති කොරෝනා වයිරස් උවදුර ලොවින් තුරන් කර සියල්ලන්වම ආරක්ෂා කරනු මැනව. මෙරටේ ජනයා අතර සමගිය සහජීවනය හා යහ අවබෝධය වර්ධනය කරනු මැනව.

වස්සලාම්

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහා ලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

2020/04/13

සිංහල දමිළ අලුත් අවුරුදු දින පණිවිඩය

ශ්‍රී ලාංකේය ජනතාවගෙන් අති මහත් බහුතරයකගේ සංස්කෘතිමය වශයෙන් වැදගත් වූ සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද මෙම වර්ෂයේ පෙර මෙන් සැමරීමට නොහැකිව ඇත්තේ මුළු රටම මුහුණ පා ඇති කොරෝනා වසංගතය හේතුවෙනි.

මෙම අලුත් අවුරුදු උදාවත් සමග නියමිත සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් අපගේ මාතෘභූමිය මෙම වසංගත තත්ත්වයෙන් මුදා ගන්නට සැමට එක්ව අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට දෙවියන් භාග්‍ය ලබා දෙත්වා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙරට ප්‍රතිසාධනය සදහා කටයුතු කරන රජයටත්, සියළු රාජ්‍ය සේවකයින්ටත්, විශේෂයෙන්ම ඉමහත් කැපවීමකින් කටයුතු කරන සියළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිළධාරීන්ටත් මෙරට සියළු ජනයාටත් මෙම අවස්ථාවේ දී හෘදයාංගම ප්‍රාණාමය පුද කරන්නෙමු.

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහා ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව