ACJU/NGS/2021/084

2021 මැයි 26

 

සමස්ත මිනිස් සංහතියටම තර්ජනයක් වන කෝවිඩ්-19 වසංගතයේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින බෞද්ධ සහෝදරයන්, වෙසක් පොහෝ දින සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඉතිහාසය පුරා විවිධ අවස්ථාවන්හිදී අප මෙවන් සිදුවීම්වලට මුහුණ දී ඇත්තෙමු.

අපගේ දහම් කෙරෙහි ඇති භක්තිය එවැනි විපත්වලින් මිදීමට අපට ශක්තියක් වන අතර අපගේ ගුණධර්ම ගොඩනැගීමටද රුකුලක් වෙයි.

මෙම අවස්ථාවෙහිදී, අපගේ මානව බැඳියාවන් හා සාරධර්ම ශක්තිමත් කරගනිමින්, අපගේ දහම්වල ඉගැන්වීම් පිළිපදිමින්, කොවිඩ්-19 වැළැක්වීමේ පියවර අනුගමනය කරමින් අප මාතෘභූමිය හා සියලු ජනයා සුරක්ෂිත කරමු.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන ජනයාගේ යහමඟ, යහපත් සෞඛ්‍යය, අධ්‍යාත්මික හා සදාචාරාත්මක වර්ධනය සඳහා සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී දුගී දුප්පත් ජනයාට උපකාර කරමින් ත්‍යාගශීලීව කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මුස්ලිම් ප්‍රජාවෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ආරක්ෂිත වෙසක් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරයි.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

25.12.2020

කෝවිඞ් -19 වසංගතයෙන් මිය යන අයගේ මළ සිරුරු ආදාහනය කළ යුතුයි යනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණය ප්‍රකාශයට පත් වූ විට මෙම වෛරස් වසංගතයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට මුස්ලිම්වරුන්ට අවසර දෙන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව වෙනත් සංවිධාන සමඟ එක්ව ඉදිරිපත් කොට කටයුතු කර ඇති බව සියල්ල දන්නා කරුණකි. මේ අනුව අපගේ ඉල්ලීම සැලකීමට භාජනය වූ අතර ආදාහනය සහ භූමදානය සඳහා අනුමැතියන් දෙකක් ඉදිරිපත් වුණි. කෙසේ වෙතත් පසුව එය ආදාහනය පමණක් යන පදනම මත රාජ්‍ය ගැසට් පත්‍රයේ නීතිගත කරන ලදී.


එතැන් සිට අද දක්වා, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විශේෂඥයන්, සිවිල් සංවිධාන සහ දේශපාලඥයන් යනාදි සියලු පාර්ශව එක්කොට මළ සිරුරු භූමදාන කිරීමට අවසර ලබා ගැනීමේ අරමුණින් දැඩි උත්සාහයක් දරමින් සිටී.


අද දක්වා ගනු ලැබූ උත්සාහයන්:


1.24.03.2020 ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අතිගරු ජනාධිපති තුමා හට, අගමැති තුමා හට සහ කොරෝනා කාර්ය සාදක බලකායට ඉල්ලීමක් කරන ලදී.
https://acju.lk/en/news/acju-news/item/2049-letter-to-hep-pm-let-gen

 

2. 31.03.2020 අතිගරු ජනාධිපති තුමා, අගමැති තුමා, සෞඛ්‍ය ඇමති තුමිය සහ කොරෝනා කාර්ය සාදක බලකායට තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
https://acju.lk/en/news/acju-news/item/2050-a-letter-sent-from-acju

 

3. 31.03.2020 කොවිඩ්-19 නිසා විපතට පත්වූවන්ගේ මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ හමුදා මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වූහ.

 

4. 31.03.2020 කොවිඩ්-19 නිසා විපතට පත්වූවන්ගේ මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීමක් පැවැත්වූහ.

 

5. 01.04.2020 දින ආදාහනය සම්බන්ධයෙන් තම අතෘප්තිය ප්‍රකාශ කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ලදීEnglish: https://acju.lk/en/news/acju-news/item/1887-acju-expresses-its-disappointment-with-regard-to-revising-the-method-of-disposal-of-the-covid-19-bodies

Tamil : https://acju.lk/news-ta/acju-news-ta/item/1889-19

 

6. 02.04.2020 සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි මහතා විසින් කොවිඞ් -19 වෛරසයෙන් විපතට පත් වූවන්ගේ මළසිරුරු සම්බන්ධ සමකාලීන ගැටළු පිළිබඳව රජයට විද්‍යාත්මක සාධක දැනුම් දීම සහ මුස්ලිම් ප්‍රජාවට මග පෙන්වීම් ලබා දීම පිළිබඳව මුස්ලිම් උගතුන් හා බුද්ධිමතුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

 

7. 22.04.2020 ඉස්ලාම් දහම තුළ ආදාහනය කිරීම තහනම් බව සනාථ කරමින් ෆත්වා (ඉස්ලාම් නීතිමය) තීන්දුවක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් නිකුත් කරන ලදී.
https://acju.lk/en/fatwa-bank/recent-fatwa/item/1958-religious-clarification-with-regard-to-cremating-the-body-of-a-muslim-covid-19-victim

 

8. 07.05.2020 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා වෙත ලිපියක් යවනු ලැබීය.

English : https://acju.lk/en/news/acju-news/item/1935-clarification-on-the-ambiguity-on-burying-the-ashes-of-a-muslim-who-succumbed-to-covid-19-and-request-to-reverse-the-stance-by-permitting-burial

Tamil : https://acju.lk/news-ta/acju-news-ta/item/1936-19

 

9. 10.05.2020 මුස්ලිම් මළසිරුරු භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යවන ලදි.

https://acju.lk/en/news/acju-news/item/2051-a-letter-to-hon-min-pavithra-wanniarachchi-minister-of-health

 

10. 05.06.2020 මියගිය අය භූමදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙහි ඉස්ලාමයේ ආදාහනය කිරීම තහනම් කර ඇති බවත් භූමදානය කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවත් ලේඛන කිහිපයක් උපුටා දක්වමින් පෙන්වා දෙන ලදී.

https://acju.lk/en/news/acju-news/item/1963-opinion-regarding-disposal-of-covid-19-affected-human-remains


11. 10.11.2020 කෝවිඞ්-19 ආසාදනයෙන් විපතට පත්වූවන් භූමදාන කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට බලධාරීන් සමඟ මන්නාරම් ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.


12. 24.11.2020 ජනසා (මුස්ලිම් මළ සිරුරු) සම්බන්ධයෙන් මුස්ලිම් සංවිධාන සමඟ විශේෂ රැස්වීමක් දෙහිවල මුහියද්දීන් ජුම්මා මස්ජිද් හිදී පවත්වන ලදී.


13. 10.12.2020 මුස්ලිම්වරුන්ගේ ආදාහනය සඳහා කිසිදු ආගමික අවසරයක් නොමැති බව පවසමින් මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු භූමිදානය කිරීමේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති තුමන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වූ ජනාධිපති කොමිසමෙන් ආයාචනා කළේය.

https://www.youtube.com/watch?v=ZCebVqobrZ8&t=1s

https://www.youtube.com/watch?v=KBAOFhrYH38&t=4s

 

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමඟ එක්ව සිවිල් සංවිධාන, පාලක පක්ෂය, විපක්ෂය හා බොහෝ වැදගත් පාර්ශවයන් මේ දක්වා සිය උත්සාහයන් අඛණ්ඩව කරගෙන යමින් සිටින්නෝය. අල්ලාහ් අපගේ උත්සාහයන් බලාපොරොත්තු විරහිත නොකරන බව අපි තරයේ විශ්වාස කරමු. ”ඉන්ෂා අල්ලාහ්” මෙම උත්සාහයන් සාර්ථක කර ගැනීමට මුස්ලිම්වරුන් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත්, නොකඩවා ප්‍රාර්ථනා කරන ලෙසත්, සුන්නත් (අතිරේක) උපවාසයන්හි නිරත වන ලෙසත්, සදකා යනාදී දානමානයන්හි නිරත වන ලෙසත්, විශේෂයෙන් නොකඩවා නමස්කාරයේ යෙදෙන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිහතමානීව ඉල්ලා සිටියි. සර්වබලධාරී අල්ලාහ් අප සියල්ලන්ම මෙම රෝගයෙන් ආරක්ෂා කර අප සැමට ආශීර්වාද කරත්වා!

 

අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්
මහලේකම් (වැඩබලන)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

2020.10.27


සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි හිටපු සභාපති සහ වත්මන් මහලේකම් අෂ්-ෂෙයික් උස්තාද් මුබාරක් (ගෆූරී, මදනී) තුමාණන්ගේ අභාවය පිළිබඳ පුවත අපගේ දැඩි කනස්සල්ල ඇති කරන්නකි.


එතුමන් වර්ෂ 1991 සිට 2003 දක්වා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය සභාපති ලෙස සේවය කර ඇත. තවද වර්ෂ 2003 සිට 2010 දක්වා නියෝජ්‍ය සභාපති වශයෙන් ද 2010 පටන් අද දින අවසන් ගමන යන තෙක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය මහලේකම් වශයෙන්ද අපගේ සභාවට මඟ පෙන්වූ ශේෂ්ඨ විද්වතෙකි. වසර 33 ක් පමණ තමා අධ්‍යාපනය ලැබූ ගෆූරියා අරාබි විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, ජාමියා නලීමියා කලා පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇති අතර, තම ජීවිතයේ බොහෝ කාලය අධ්‍යාපනය හා දහමේ අභිවෘද්ධිය සඳහා කැපකර ඇත.


එතුමන් රටේ සුප්‍රසිද්ධ ඉස්ලාමීය දේශකයෙක් හා ලේඛකයෙකි. එතුමන්ගේ අභාවය පිළිබද පුවත මේ රටේ මුස්ලිම්වරුන්ට සහ රටේ ජනතාවට විශාල පාඩුවක් ගෙන දෙන්නකි. එතුමන්ගේ පවුලේ උදවිය, ඥාතීන් සහ ශිෂ්‍යයින් සියලු දෙනාට අපගේ ශෝකය සහ කණගාටුව පළ කර සිටින්නෙමු.


සර්වබලධාරී අල්ලාහ්, එතුමන්ට පාපක්ෂමාව ලබා දී ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ගය පිරිනමත්වා.


සටහන : කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා ජනාසාවට සහභාගී වීමට නොහැකි උදවිය, එතුමන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනාවන්හි නියැළෙන ලෙසත් ගාඉබ් (غائب) වන ජනාසා සලාතයෙහි නිරත වන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
ගරු සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)