2019.10.25

(හිජ්රි 25.02.1441)

ලබන නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සමයෙහි පහත කරුණු ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන මෙන් ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජනයාගෙන් සමස්ත ලංකා මුස්ලාමීය වියතුන්ගේ සම්මේලනය හෙවත් ජම්යියතුල් උලමා සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.

  1. ගත වුනු 90 වසරකට ආසන්න කාලයක් මෙරට ආගමික, සමාජීය හා මානුෂීය සත්කාර මෙහෙවරවල යෙදී සිටින ජම්යියතුල් උලමා සම්මේලනය සිය කටයුතුවල කිසිඳු දේශපාලන පක්‍ෂයකට පක්‍ෂව හෝ විපක්‍ෂවම කි‍්‍රයා නොකරන බව කවුරුත් දනියි. එනිසා අපගේ මෙම ප‍්‍රතිපත්තියට හානි වන ආකාරයෙන් අප සම්මේලනයේ නාමය කිසිඳු දේශපාලන කටයුත්තකට හෝ ප‍්‍රකාශයකට භාවිත නොකරන මෙන් සැමගෙන් හා විශේෂයෙන් ලාංකික මුස්ලිම් ප‍්‍රජාව වෙතින් තරයේ ඉල්ලා සිටිමු.
  2. විශ්වයේ සියලුම දේ සිදුවන්නේ විශ්වාධිපති අල්ලාහ්ගේ සිතැගි පරිදිය යන විෂයෙහි නොසෙල්වෙන විශ්වාසයක් තබා සිටින මුස්ලිම්වරුන් වන අපි, ජනාධිපතිවරණයෙන් කවුරු ජය ගත්තත් එයද අල්ලාහ්ගේ තීරණය පරිදි සිදුවුවක් යැයි හෘදයාංගමව පිළිගැනීම අපගේ වගකීමකි.
  3. මෙලොව මෙන්ම එලොව ජීවිතයේද ජය රඳා පවතින්නේ අපගේ වක්තෘ මුහම්මද් තුමන්ගේ ආදර්ශමත් ජීවිතය අනුව අපගේ දිවිය හැඩ ගස්වා ගැනීමෙන් පමණි. මෙම ආකල්පය ජනාධිපතිවරණ සමයටද අදාළ විය යුතුය. විශේෂයෙන් මෙම කාලයෙහි අපගේ මව්බිමට සාමයෙන් සපිරි සමෘද්ධිමත් අනාගතයක් අත් වේවා යැයි අප ප‍්‍රාර්ථනා කළ යුතුය. එමෙන්ම අල්ලාහ්ගේ උපකාරය ලබා ගත හැකි යහකි‍්‍රයාවල අප නියැලිය යුතුය.
  4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්ම අනුව කටයුතු කරන මෙරටෙහි ඕනෑම කෙනෙකුට හා පක්ෂයකට මැතිවරණයකට තරඟ කළ හැකිය. එසේම ඕනෑම රට වැසියෙකුට තමන් කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දිය හැකිය. මෙය යුතුකමක් හා අයිතියක් මෙන්ම භාරදුර වගකීමක්ද වන්නේය. මුස්ලිම්වරුන්ටත් මෙම ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය හා වගකීම ඇත. එනිසා ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී නොසිට එයට වැදගත්කමක් ලබා දිය යුතුය.
  5. දේශයට ආදරය කරන, ජනතාව වෙනුවෙන් කැපවනු හා රට දියුණු කරනු ඇත යැයි අප විශ්වාස කරන අපේක්‍ෂකයෙකුට අපගේ ඡන්දය ප‍්‍රකාශ කළ යුතුය.
  6. ඡන්ද සමයෙහි හෝ ඕනෑම කාලයක එය හා සම්බන්ධ කිසිඳු වැරදි හෝ නොමනා කි‍්‍රයාවක අප නොයෙදිය යුතුය. එමෙන්ම දූෂ්‍ය ආරංචි, අසත්‍ය හෝ සැක සහිත තොරතුරු හා පුවත් පැතිරවීමෙන්ද අප වැළකී සිටිය යුතු අතර එසේ වීමෙන් අපගේ ආගමික විශ්වාසයද පළුදු විය හැකිය.
  7. ආගමික විද්වතුන් සිකුරාදා ජුමුආ දේශනය ඇතුලූ කිසිදු ආගමික දේශනයක මෙන්ම පුද්ගලික සංවාදවලදී ද කිසිදු අපේක්‍ෂකයෙකුට පක්‍ෂව හෝ විරුද්ධව අදහස් නොදැක්විය යුතුය. මෙම මාර්ගෝපදේශ පිළිබඳව ජනයා දැනුවත් කළ යුතුයි. එමෙන්ම මස්ජිදය දේශපාලන කටයුතු සඳහා භාවිත නොකළ යුතුය.
  8. ඡන්ද විමසීම අවසන් වු පසුව ඉතා සන්සුන්ව කටයුතු කළ යුතුය. මුස්ලිම් ප‍්‍රජාව ඕනෑම අවස්ථාවක සාමය සහජීවනයට රුකුල් වන අයුරින් කටයුතු කළ යුතුයි.

මස්ජිද් පරිපාලකයන්, මුස්ලිම් ආගමික වියතුන්, ආගමික ප‍්‍රධානීන් මෙන්ම ජම්යියතුල් උලමා සංවිධානයේ ශාඛාවල සේවයේ යෙදී සිටින්නන් ඉහත මාර්ගෝපදේශ අනුගමනය කර ඔවුන් ඇසුරු කරන ප‍්‍රදේශවාසී මුස්ලිම්වරුන්ටද අවශ්‍ය මගපෙන්වීම් ලබා දිය යුතු බව අප සංගමය කාරුණිකව ඉල්ලා සිටියි.  

 

අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්

උප සභාපති

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය

 

සෑම ආගමකට අයත් පුද්ගලයෙක්ම තම තමන්ගේ ආගමික නායකයින් දේශකයින් බිහිකිරීම සඳහා වෙන වෙනම පාසල් හා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවාගෙන ඇති පරිදි ඉස්ලාමීය දේශකයින් හා ආගමික නායකයින් බිහි කිරීමේ අරමුණින් පසු ගිය වසර 150 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින කලා පීඨ මද්රසා හෙවත් අරාබි දහම් පාසල් නමින් හැඳින් වේ.

ලංකාවේ මුල්ම අරාබි විදුහල වර්ෂ 1870 දී ගාල්ල තලාපිටිය ‘සාවියතුල් මක්කීයතුල් ෆාසිය්යතුල් ෂාදුලිය්යා’ යන නමින් ආරම්භ කරන ලද අතර  වර්ෂ 1884 දී වැලිගම ‘අල් මද්රසතුල් බාරි’ අරාබි විදුහල ද වර්ෂ 1894 දී ගාල්ල ‘බහ්ජතුල් ඉබ්‍රාහිමිය්යා’ අරාබි විදුහල ද, වර්ෂ 1931 දී මහරගම ගෆූරිය්යා අරාබි විදුහල ද, වර්ෂ 1954 දී අට්ටාලච්චේන ‘ලංකා නැගෙනහිර අරාබි විදුහල ද, වර්ෂ 1955 දී කාත්තන්කුඩි අල් ෆලාහ් අරාබි විදුහල ද, වර්ෂ 1959 දී කාන්තාවන් සඳහා කල්එලිය මුස්ලිම් බාලිකා අරාබි විදහල ද ආරම්භ කරන ලදී.

අරාබි ඉස්ලාම් පාඨමාලාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉතා මුල් කාලයේ සිටම ඇතුළත්ව තිබුණු පාඨමාලාවක් බව මෙහි දී ඉතා අවධාරණයෙන් සඳහන් කරනු ලැබීය. රාජ්‍ය මට්ටමින් පාසල්වල ද විශ්ව විද්‍යාල මට්ටමින් ද අරාබි භාෂාව ඇතුළු ඉස්ලාමීය පාඨමාලා එදා පටන් උගන්වනු ලැබීය. 1940 මුල් කාලයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අරාබි, ඉස්ලාම් සංස්කෘතිය යන අංශ පිහිටුවන ලදී.

 

පාසල් මට්ටමින් අරාබි හා ඉස්ලාම් පාඩම් ඉගැන්වීම සඳහා ගත වූ දසකය  කාලයක් තිස්සේ මව්ලවි ගුරුපත් වීම් රජය විසින් පිරිනමන ලදී.

ඉස්ලාමයේ ඇති ප්‍රධාන මූලාශ්‍ර සියල්ල අරාබි බසින් තිබෙන බැවින් මද්රසා හෙවත් අරාබි පාසල් තුළ අරාබි භාෂාව හා  වෙනත් ඉස්ලාමීය කලාවන් උගන්වන අතරම සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන් ද උගන්වනු ලැබේ. මද්රසා බොහෝමයක අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා සිසු දරුවන් සූදානම් කරනු ලැබේ.

රාජ්‍ය අනුමැතිය හිමි වූ පළමු අරාබි ඉස්ලාම් පාඨමාලාව මුල් කර ගනිමින් 2013 වර්ෂයේ සිට විභාග දෙකක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබයි. ඒ අනුව රාජ්‍ය අනුමැතිය හිමි වූ පාඨමාලාව මුල් කර ගනිමින් මද්රසාවන් තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත.  

රටට, සමාජයට හා දහමට සේවය කරන සදාචාරසම්පන්න හා යහපත් ගතිපැවතුම් ඇති දේව ගැත්තන් හා දැහැමි පුරවැසියන් බිහි කිරීමේ මහඟු සේවාවක අරාබි මද්රසා නියැළී සිටියි. විශේෂයෙන් වර්තමානයේ ජාතීන් අතර පවතින් ගැටුම් කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජ යහපත හා  සහජීවනය උදා කිරීමට අවශ්‍ය මග පෙන්වීම් මද්රසා සිසු දරුවන් සඳහා උගන්වනු ලබන බව තරයේ පවසා සිටින්නට කැමැත්තෙමු.

 උක්ත මහා සමුළුවෙහි පහත සඳහන් තීන්දු තීරණ ගන්නා ලදී.

  1. 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු කරන ලද ම්ලේච්ච ත්‍රස්ථවාදී ප්‍රහාරය මෙම සමුළුම ඉතා දැඩි ලෙස හෙළා දකියි.
  2. මෙම ප්‍රහාරයෙන් මිය ගිය ඇත්තන්ගේ පවුල් සාමාජිකයිනට තම බලවත් ශෝකය ඵල කර සිටි අතර තුවාළ ලැබූවන් ඉතා ඉක්මණින් සුවය ලබන්නට මෙම සමුළුව ප්‍රාර්ථනා කරයි.
  3. ම්ලේච්ච ත්‍රස්තවාදයට හා සාමය, සමාදානය හා සහජීවනය යන උසස් ගුණාංග උගන්වා දිරිමත් කරන ඉස්ලාමයට කිසිදු සම්බන්ධතාවක් නැති බව මෙම සමුළුව තරයේ පවසා සිටියි.
  4. මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව කටයුතු කළ සියලු දෙනාහට දැඩි දඬුවම් දිය යුතු බව මෙම සමුළුව ඉල්ලා සිටියි.
  5. කුරුණෑගල, පුත්ලම, ගම්පහ යන පළාත්වල මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතිවාදී ප්‍රහාරයන්ද සමුළුව ඉතා දැඩි ලෙස හෙළා දකින අතර එම කටයුතු වල නිරත වූවන් සඳහා නිසි දඬුවම් ලබා දිය යුතු බව අදාළ බලධාරීන්ගෙන් මෙම සමුළුව ඉල්ලා සිටියි.
  6. ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග සමබ්න්ධ පුද්ගලයින් ඉතා කෙටි කලක් තුළ අත් අඩංගුවට ගෙන රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත් ජනාධිපති තුමා, අගමැති තුමා ඇතුළු රජයට හා ආරක්ෂක අංශවලට මෙම සමුළුව ස්තුතිය පුද කර සිටියි. එමෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග අත් අඩංගුවට පත්ව ඇති අසරණ නිර්දෝෂී පුද්ගලයින් ඇත්නම් ඉතා ඉක්මණින් නිදහස් කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ද මෙම සමුළුව ඉල්ලා සිටියි. ‍
  7. මද්රසා තුළ ක්‍රියාත්මක වන පාඨමාළා සියල්ල මෙරටේ නීතියට යටත්ව පිහිටා ඇති බවත් එහි ත්‍රස්තවාදය දිරිගන්වන හෝ උගන්වන කිසිදු කරුණක් නොමැති බවත් ස්ථීර වශයෙන් හා වගකීමෙන් යුතුව මෙම සමුළුව පවසා සිටියි.
  8. ලංකාවේ ත්‍රස්තවාදය හා එම චින්තනය මුල් සමග උගුලා දමන්නට මද්රසා වන් කැපවීමෙන් ක්‍රියා කරනු ඇතැයි මෙම සමුළුව වගකීමෙන් ප්‍රතිඥා දෙයි.
  9. මෙරටේ මද්රසා අරාබි පාසල් පිළිබඳ දකින්නට ඇති වැරදි මත දුරු කොට ජාතීන් අතර අවබෝධය හා සහජීවනය ඇති කරන්නට මද්රසා ඉදිරියෙන් සිට කටයුතු කරනු ඇතැයි මෙම සමුළුව ප්‍රකාශනයට පත් කර ඇත.
  10. වසර දහසක ඉතිහාසය තුළ මුස්ලිම්වරු මෙරටට සෙත සලසන, සාමය ආරක්ෂා කරන, එකමුතුව ජීවත් වන්නට ප්‍රිය කරන ජන සමූහයක් ලෙස සිටි බවත් ත්‍රස්ත ක්‍රියාවන් සඳහා පක්ෂව කටයුතු කර නොමැති බවත් පවසන්නට කැමැත්තෙමු. ඉදිරියටත් එලෙසම මුස්ලිම්වරු සිටිනු ඇතැයි ද එසේ අපි කටයුතු කරන්නෙමු යැයි ද මෙම සමුළුව තරයේ පවසා සිටියි.
  11. රටේ ඇති මාධ්‍ය ආයතන පුවත් සැපයීමේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර මාධ්‍ය ධර්මතාවන් පිළිපැදිය යුතු බවත් මෙම සමුළුව ඉල්ලා සිටියි.
  12. ජාතීන් අතර එකමුතුකම හා සමාජ යහපත මෙරට තුළ ඉදිරියටත් ආරක්ෂා කිරීමට රජය, පර්ලිමේන්තු සමාජිකයින්, ආගමික නායකයින්, සිවිල් සමාජය ජාති ආගම් භාෂා භේදයකින් තොරව කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි මෙම සමුළුව ඉල්ලා සිටියි.

2019.06.19

මක්තබ් දහම් පාසල සම්බන්ධව බොදුබලසේනා සංවිධානයේ අසත්‍ය ප‍්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි

ශ‍්‍රී ලංකාවාසී මුස්ලිම් ළමුන්ට ආචාර ධර්ම සහ යහගුණ ප‍්‍රගුණ කරන මක්තබ් අධ්‍යාපනය ත‍්‍රස්තවාදයට සහ අන්තවාදයට සහය වන්නක් ලෙසින් බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍යයට නිකුත් කළ ප‍්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි. සත්‍යට එරෙහිව මෙවැනි කටකථා පතුරවන්නන් විෂයයෙහි විමසිල්ලෙන් සිටින ලෙසද ලංකා වාසී සැමගෙන් අප සම්මේලනය ඉල්ලා සිටියි.

ලාංකික මුස්ලිම්වරුන්ට මෙරට වසර දහසකට අධික ඉතිහාසයක් ඇත. ඈත අතීතයේ පටන් මුස්ලිම් දරුවන්ට ආචාර ධර්ම උගන්වා ඔවුන්ව යහපත් පුරවැසියන් බවට පත් කරන අධ්‍යාපනය මුස්ලිම් පල්ලිවල ලබා දෙනු ලැබේ.

මෙවන් ඉතිහාසයක් ලද මස්ජිද් හරහා වූ ආගමික දැනුම හදාරවන ක්‍රමයක් මුස්ලිම් ආගමික කටයුතු දෙපරේතමේන්තුව විසින් 2010 වසරේදී හඳුන්වාදෙන ලදී. එම පාඨමාලාවට අනුව පෙළපොත් සම්පාදනය කර ඒ සඳහා වන නියාමන රීතීන් හඳුන්වා දී මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන එම ළදරු පාසැල් මක්තබ් යන නමින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. එම මක්තබ් පාසැල් ඒ ඒ මස්ජිද්හි අධීක්‍ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වන්නැයි සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) උපදෙස් කරමින් සිටියි.

මක්තබ් යන අරාබි වචනයෙහි අරුත ලියන හා ඉගෙනගන්නා ස්ථානය යනුයි. මත්කබ් පාසැල්වල සිදු වන්නේ ලිවීමට හා කියවීමට ඉගැන්වීම හෙයින් මෙම නාමය මේ ස්ථානවලට යොදා ඇත.

මක්තබ් සිසුන්ගෙන් මාසිකව අය කරනු ලබන මුදල මත්කබ් පාසැල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ අනෙකුත් වියදම් සඳහා වැය කරනු ලැබේ. මෙම කටයුතු ඒ ඒ පල්ලිවල මක්තබ් සම්බන්ධ කටයුතු කිරීමේ වගකීම භාරව සිටින්නන් විසින් සිදු කරනු ලැබේ. ඊට පටහැණිව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU), එහි පරිපාලනයට හා කළමනාකරණයට භාවිත නොකරන බව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) වගකීමෙන් කියා සිටියි.

එනිසා සියවස් ගණනාවක් මෙහි පැවත එන කුඩා ළමුන්ගේ ආගමික අධ්‍යාපනය සම්බන්ධ මෙහෙයක් අසත්‍ය හා අමූලික ප‍්‍රචාර සිදු කිරීම මගින් ජාතිවාදි ද්වේෂය උසි ගන්වන්නට හා සාමය හා එකමුතුබව විනාශ කරන්නට කටයුතු නොකරන ලෙස අප සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.

 

අෂ් ෂේහ් මුර්ෂිද් මුලෆ්ෆර්

සහකාර ලේකම්

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU)

2019.06.08

මාධ්‍ය ප‍්‍රකාශය

පසුගිය ගිය සති කිහිපය අප රටට අතිශය ශෝචනීය කාල වකවානුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මෙවන් නොසන්සුන් වාතාවරණයක පසුගිය ජූනි මස 6 වන දින ත්‍රයි නිකායන්ට අයත් අති පූජ්‍ය මහා සංඝ නායකයන් මාධ්‍ය හමුවක් කැඳවා මෙරටේ සියලූ ජනකොටස් සාමයෙන් එක්සත්ව කටයුතු කළ යුතුය යැයිද විශේෂයෙන් මුස්ලිම් ජනයා සමග තමන්ට කිසිඳු අහිතක් හෝ නොසතුටක් නොමැත යැයිද ඈත අතීතයේ පටන් මුස්ලිම් ප‍්‍රජාව සමග සිංහළ ජනයා වාසය කළේ සුහඳ මිත‍්‍රශීලී ආකල්පයෙන් බව පෙන්වා දෙමින් එය එසේම පැවතිය යුතුය යැයිද විශේෂ ප‍්‍රකාශයක් කර තිබීම ඉතා අගය කළ යුතු කරුණකි.

මෙලෙසින් අප රටේ සාමය හා ජනකොටස් අතර එකමුතුබව සඳහා මහා සංඝරත්නය ඉටු කර ඇති මෙහෙය හා ලබා දී ඇති දායකත්වය සුළුපටු නොවේ. එසේම අතීතයේ සේම වර්තමානයේත් රටේ අභිවෘධිය උදෙසා එක්සත්ව කටයුතු කරන්නට ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවද මුස්ලිම් ආගමික ප‍්‍රධානීන්ද නිරන්තරයෙන්ම සුදානමින් සිටින බව මෙරටේ සියලූ ජනයාට මෙන්ම රජයටද පවසනු කැමැත්තෙමු.

ත‍්‍රස්තවාදය, අන්තවාදය හා ජාතිවාදය වැනි අපගේ රටට ව්‍යසනයක් විය හැකි හා රට අස්ථාවර කළ හැකි දුෂ්ට බලවේග කුමන වෙසකින් පැමිණියද ඒ සියල්ල පරාජය කිරීමට ශ‍්‍රී ලාංකිකයන් ලෙසින් සියලූ වෙනස්කම් පසෙකලා අප සැම එක හඬින් නැගී සිටිය යුතුය.

ජනකොටස් අතර අන්‍යෝන්‍ය වැටහීම සහ එක්සත් බව ඇති කර රටේ සාමය හා සමාදානය මෙන්ම අභිවෘධිය ඇති කරත්වා යැයි අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමු.

වස්සලාම්

 

අෂ් ෂෙයික් එම්.එම්. මුර්ෂිද් මුලෆ්ෆර්

සහකාර ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය

(All Ceylon Jamiyyathul Ulama) 

 

2019.05.28 (1440.09.22)

රමළාන් උත්සවය සම්බන්ධ මගපෙන්වීම්

රටේ පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුනගේ සම්මේලනය (ජම්යියතුල් උලමා සම්මේලනය) ලාංකික මුස්ලිම් ජනයාට පහත උපදෙස් ඉදිරිපත් කරයි,

  1. කොළඹ ප‍්‍රධාන මස්ජිදය, සමස්ත ලංකා ජම්යියතුල් උලමා සම්මේලනය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව නව සඳ දිස්වීම පිලිබඳව ගන්නා සාමුහික තීරණය අනුව ප‍්‍රකාශයට පත් කරන දිනයෙහි රමළාන් ඊද් උත්සවය සැමරිය යුතුය.
  2. රමළාන් ඊද් සලාතය ක‍්‍රීඩා පිටි හෝ එවැනි එළිමහන් ස්ථානවල පැවැත්වීමෙන් වැළකී සලාතය මස්ජිද්වල පමණක් ඉටුකළ යුතුයි.
  3. රමළාන් ඊද් සලාතය සඳහා මස්ජිද්වලට පැමිණෙන්නන් වාහනවලින් පැමිණීමෙන් වැළකිය යුතුය. ඊට නොහැකි තත්ත්වයකදී තනි තනි වාහන වලින් නොපැමිණ සාමුහික වශයෙන් වාහනයක පැමිණීමට කටයුතු කළ යුතුයි.
  4. සියලුම මස්ජිද්වල පරිපාලකයින් ඒ ඒ පෙදෙස්වල පොලිස් ස්ථාන හා සම්බන්ධ වී තම මස්ජිද්වලට විශේෂ ආරක්‍ෂාව ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
  5. පීඩාවට පත්වුවන් ගැන සැළකිලිමත් වෙමින් රමළාන් ඊද් උත්සව කටයුතු චාම් ලෙස සිදුකිරීමට සිහි තබා ගතයුතු අතර ආහාර පාන අසල්වැසියන් හා දුගීන් සමග නොමසුරුව බෙදා ගත යුතුය. ඊද් උත්සව ආගමික කටයුතු වලින් සීමා කර ගනිමින් වැය කරන මුදල ඉතිරි කර පීඩාවට පත්වුවන්ට ලබා දීමට කටයුතු කළ යුතුය.
  6. බඩු බාහිරාදිය මිලට ගැනීම සඳහා කාන්තාවන් නොගොස් හැකි පමණින් පිරිමි ඒවා සිදුකර දීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

දයාව හා පරෝපකාරය උනන්දු කරන මෙම සුවිශේෂී මාසයේ අප සිදු කරන ආගමික් වතාවත් වන්දනා මාන හා දන්දීම සියල්ල අල්ලාහ් දෙවියන් පිළිගෙන ඒවායෙහි මහිමයෙන් රටේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින්ම පහ වී නැවතත් අපගේ මාතෘභූමියට සතුට සැනසීම හා අභිවෘධිය ඇති කරත්වා.

වස්සලාම්

 

අෂ් ෂෙයික් එච්. උමර්දීන්

ලේකම්,

ප‍්‍රචාරක කමිටුව,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)

2019 මැයි මස 22

අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ

2019 අප්‍රේල් මස 21 වන දින අප කිසිවෙකුට අමතක කළ නොහැකි දිනයකි. පල්ලිවල ආගමික වතාවත්වල යෙදී සිටි කතෝලික බැතිමතුන් හා හෝටල් කිහිපයක උදේ ආහාර ගනිමින් සිටි අහිංසකයන් සිය ගණනක් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුයේ මෙම දිනයේය. මෙම අමානුෂික ඝාතන පෙළ සිදු කළ කුරිරු පුද්ගලයන් කිහිප දෙනා ‘මුස්ලිම්’ යැයි තමන්ව හඳුන්වා ගත් හෙයින් මෙය සම්බන්ධව, කවදත් සාමය අගයන ලාංකික මුස්ලිම් ප්‍රජාවට ඇති වුයේ දැඩි අසීරුතාවක් හා දැරිය නොහැකි කම්පාවකි. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය නොහොත් ජම්යියතුල් උලමා සම්මේලනය ප්‍රමුඛ මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා සිය සංවේගය හා කණගාටුව නැවතත් ප්‍රකාශ කර සිටිති.

අයි.එස්. ත්‍රස්ත කල්ලිය බිහි වු පසු 2014 වසරෙහි ලොව සියල්ලන්ටම ප්‍රථමයෙන් එය හෙළා දුටු ආගමික සංවිධානය වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයයි. එවක පටන් එම බිහිසුණු ත්‍රස්ත කල්ලියේ අමානුෂික ක්‍රියාකාරකම් විටින් විට දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රියා සහ ඉස්ලාම් ධර්මයේ ඉගැනුම්වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද ඒ අනුව අයි.එස්. ත්‍රස්තවාදීන් මුස්ලිම් නොවේය යැයිද අප අවධාරණයෙන් ප්‍රකාශ කරමින් සිටියෙමු. මන්දයත් අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ මරාගෙන මැරෙන ඇතුළු අන් සියලුම ආකාරවල ත්‍රස්ත ප්‍රහාරවලට කිසිසේත් ඉස්ලාමය අනුබල නොදෙන හෙයිනි.

වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ මුස්ලිම් ජනයා මෙරට බහුතර සිංහල සහෝදර සහෝදරියන් සමග සාමයෙන් හා එක්සත්ව වාසය කරමින් සිටින බව ප්‍රකට කරුණකි. අප්‍රේල් ප්‍රහාර මාලාවේ කම්පනය නිසා මුස්ලිම්වරුන් වශයෙන් සහෝදර ජනතාව අතර සබඳතාව වඩාත් ශක්තිමත් කිරීමටත් විවිධ ජනකොටස් සමග වඩාත් සමීප වීමටත් වූ අධිෂ්ඨානය තර වී ඇත. ජාතීන් අතර වන මෙම සංහිඳියාව තවතවත් ශක්තිමත් කරන්නට මුස්ලිම් අප සැම විශේෂයෙන් කැපවීමකින් කටයුතු කළ යුතු අවදිය මෙයයි. ඒ අනුව පහත කරුණු ගැන සැළකිලිමත් වන මෙන් ලංකාවාසී මුස්ලිම්වරුන්ගෙන් සහ මස්ජිද්වල භාරකරුවන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.

  • 2017 වසර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය විසින් මස්ජිද්වලට හඳුන්වා දෙන ලද ‘සාම මධ්‍යස්ථාන සංකල්පය’ වඩාත් ඕනෑකමින් ක්‍රියාත්මක කළ යුතුය.
  • ඕනෑම ජන කොටසකට අයත් ඕනෑම කෙනෙකුට පැමිණ කරුණු විමසා පැහැදිළි කිරීම් ලබා ගැනීමට හැකි වන අයුරින් ඔබගේ ප්‍රදේශවල මස්ජිද්, මක්තබ් පාසල් සහ මද්රසා පාසල් විවෘතව තැබිය යුතුය.
  • ආදර්ශමත් ප්‍රජාවක් ලෙස මුස්ලිම් තරුණයන් බිහි වන ආකාරයෙන් මස්ජිදය මුල් කර ගත් ව්‍යාපෘති සැලසුම් කළ යුතුය.
  • මස්ජිදයේ විවිධ අවස්ථාවල ඉමාම්වරුන් පවත්වන දේශනා විෂයයෙහි වගකීම දැරිය යුතු වන්නේ ඒ ඒ මස්ජිද්වල පරිපාලකයින් වන හෙයින් එම දේශනාවල අන්තර්ගතය සිරිත් පරිදි ඉස්ලාමීය ඉගැන්වීම්, සදාචාරාත්මක අගයන්, සාමය හා සංහිඳියාව, ජනකොටස් අතර සුහදත්වය, යහපත් ප්‍රජාවක් වීමේ වැදගත්කම ආදිය අවධාරණය කරනා ලෙසින් තිබීමට තහවුරු කර ගත යුතුය. මෙම දේශනා සඳහා පිළිගැනීමක් ඇති, උගත්, පරිණත ආගමික වියතුන් පමණක් තෝරා ගත යුතුය. යමෙකු පිළිබඳ විමසීමක් අවශ්‍ය වු විට ඔහු පිළිබඳ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයෙන් විමසා සැක හැර ගත යුතුය.
  • අපගේ මාතෘභූමියෙන් ත්‍රස්තවාදයේ සියළුම කුරිරු සැවනැලි මුලිනුපුටා දැමීම සඳහා මෙයට පෙර කටයුතු කළා සේම රජය, හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාවේ යොදවන සියළු රාජ්‍ය ආයතනවලට පූර්ණ සහය ලබා දිය යුතුය. එමෙන්ම පවතින හා රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අවස්ථානුකූලව පනවනු ලබන නව නීති හා නිවේදන අකුරටම පිළිපැදිය යුතුය.

එමෙන්ම ප්‍රහාර නිසා හානියට හා දුකට පත්ව සිටින සියළුම පවුල් වෙනුවෙන්ද අපගේ මව්බිමේ පවතින ව්‍යාකූලතා සියල්ල පහ වී නැවතත් සාමයේ හා අභිවෘධියේ මාවතේ ලක්මව ගමන් කරවිය යුතු යැයි ද නිතිපතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

 

 

ගරු මුෆ්ති එම්.අයි. එම්. රිස්වි                                                                                ගරු අෂ් ෂෙයික් අගාර් මොහමඩ්

සභාපති,                                                                                                          නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)                                      සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)

 

 

 

2019 මැයි මස 06 වන දින

රමළාන් මාසය ප‍්‍රයෝජනවත්ව ගත කරමු

රමළාන් මාසය යනු අප ගතකරන මාසයන්ගෙන් සුවිශේෂී වූ මාසයකි. මන්ද එය ශුද්ධ වූ කුර්ආනය පහළ කරනු ලැබු මාසය වන අතර ප‍්‍රාර්ථනාවේ හා ඉවසීමේ ද මාසයයි. තවද අප ඉස්ලාමීය විද්වතුන්ගේ මග පෙන්වීම් සහිතව උනන්දුවෙන් හා ඉවසීමෙන් යහකි‍්‍රයා වැඩිවශයෙන් කිරිමට අදිටන් කර ගනිමු.

ගැත්තන් උපවාසයේ යෙදී ඔවුන්ගේ පෞද්ගලික - සමාජීය හා මිනිස් සංහතියේ උනන්තිය සඳහා කරන ලද ප‍්‍රාර්තනාවන් අල්ලාහු තආලා විසින් පිළිගනු ලබයි. පසුගිය දිනවල සිදු වු ඉතා ඛේදනීය කුරිරු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අප සියලු දෙනාගේම ජන ජීවිතය අවුල් වී තිබෙන මෙවන් කාලයක සියලුම ලක්වැසියන් සාමයෙන් හා සමාදානයෙන් අත්වැල් බැඳ මාතෘ භූමියට සෞභාග්‍යයෙන් පිරි හෙට දිනක් උදාවීම සඳහා අප අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය. 

රමළාන් මාසයේ අනුගමනය කළ යුතු කරුණු සඳහා වන මාර්ගෝපදේශ:

  • ශූද්ධ වූ කුර්ආනය පහළ කරනු ලැබු මෙම මාසයෙහි අප වැඩිවශයෙන් එය පාරායණය කිරිම.
  • කාලය නාස්ති නොකර දහවල් කාලයේ මෙන්ම රාත‍්‍රි කාලයේද සලාත් තිලාවත් ඉස්තිග්ෆාර් වැනි කුසල් කි‍්‍රයාවkajල වැඩියෙන් කාලය ගත කිරිම.
  • මත භේද ඇති කරුණු ගැන තර්ක විතර්කවල නොයෙදී අපගේ ආගමික වියතුන්ගේ මගපෙන්වීම අනුව එක්සත්ව කටයුතු කිරිම.
  • විශාල ලෙසින් මුදල් වැය කරන ඉෆ්තාර් හෝ සහර් නොපවත්වා එම මුදල් දුගීන්ට හා අඩු හිගකම් ඇති අය වෙනුවෙන් සදකා ලෙසින් වියදම් කිරිම සහ සකාත් ගෙවීමද නිසියාකාරව ඉටු කිරිම.
  • දුගින්ට හා ඥාතීන්ට සහර් සහ ඉෆ්තාර් බෝජන සඳහා ඇරයුම් කර එය චාම් ආකාරයෙන් පැවැත්වීම.
  • විශේෂයෙන් තරුණයින් රමළාන් මාසයේ රාත‍්‍රියෙහි අන් අයට හිරිහැර ඇති වන ආකාරයෙන් මාර්ගයන්හි ක‍්‍රීඩා කිරීම ඝෝෂා ඇති කිරීම වැනි නොහික්මුනු කි‍්‍රයාවලින් වැළකීම සහ මේ පිළිබඳ දෙමව්පියන් හා වැඩිහිටියන් වැඩි අවධානය යොමු කිරිම. 
  • මස්ජිද්වල රාත‍්‍රි කාලයේ විශේෂ නැමදුම් සිදු කරන විටද බයාන් දේශනා පවත්වන විටද ශබ්ද විකාශන උපකරණ යොදා අනවශ්‍ය ලෙස එය පිටතට ඇසෙන්නට සැලැස්වීම මගින් අන් අයට හිරිහැර ඇති නොකර එම ශබ්ද මස්ජිදය තුලට පමණක් ඇසෙන පරිදි එම දේශනයන් කිරිම.
  • සහර් වේලාවට නිවසේ ගුවන් විදුලි යන්ත‍්‍රයේ ශබ්දය වැඩි කිරීම මගින් අසල්වාසීන්ට හිරිහැර ඇති විය හැකි හෙයින් එය අපට පමණක් ඇසෙන පරිදි පහත් හඬින් තබා ගැනීම.
  • රමළාන් මාසයේ නිවසේ සාදන විශේෂ ආහාර පාන හා රසකැවිලි කිසිම ආගම් භේදයකින් තොරව අසල්වාසීන්ටද ලබා දී සතුට බෙදා ගැනීම.
  • රාතී‍්‍ර කාලයෙහි ස්ත‍්‍රීන් තරාවීහ් වැනි සලාතයන් සඳහා මස්ජිදයට යාමට සුදුසු හා ආරක්‍ෂාකාරී වාතාවරණයක් අප වාසය කරන පෙදෙසේ නොමැති නම් ස්ත‍්‍රීන්ට නිවසේදීම එම කටයුතු කර ගන්නා මෙන් උපදෙස් ලබා දීම.

මස්ජිදයට පැමිණෙන්නන් මස්ජිද් පරීශ‍්‍රයේ වාහන නවතා තැබීමෙන් වැළකිය යුතු අතර නොවැළැක්විය හේතුන් නිසා එසේ වාහනවලින් පැමිණෙන්නන් අන් අයට අවහිර හිරිහැර ඇති නොවන ආකාරයෙන් තමන්ගේ වාහන නවතාතැබීමට කටයුතු කිරිම.

ඉහත උපදෙස් කි‍්‍රයාත්මක කිරීමට මස්ජිදයේ පරිපාලන කටයුතු කරන්නන්ට සැවොම සහය දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර මෙම විශිෂ්ඨ මාසය ප‍්‍රායෝජනවත් ලෙස ගත කර අල්ලාහ්ගේ දයාව හා පිළිගැනීම ලබා ගන්නට අපට අල්ලාහ් ආශීර්වාද කරත්වා. තවද රටේ පවතින ව්‍යාකූල තත්වය තුරන් කර නැවතත් සතුට සහජීවනය හා සාමය උදා කරත්වා.

 

වස්සලාම් 

 

අෂ් ෂේශ් උමර්දීන්

ලේකම් - ප‍්‍රචාර අංශය

සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය

 

 

 

 

සැයු: ඉහත උපදෙස් ඉදිරි සිකුරාදා දිනයේ ජුමුආ සලාතයෙන් පසු පැමිණෙන්නන්ට කියවා පෙන්වන මෙන්ද මස්ජිදයේ දැන්වීම් පුවරුවේ ප‍්‍රදර්ශනය කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු

 

25.04.2019

ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑම

 

වගකීම් සහිත රටවැසියන් හැටියට අපගේ මාතෘභූමිය ආරක්ෂා කිරීමටත්, සාමය හා නිසි පාලනය පවත්වාගෙන යෑමටත් මුස්ලිම්වරුන් වන අපි බැඳී සිටින්නෙමු. ආරක්ෂක අංශ හා නීතිය පවත්වාගෙන යෑමට ඇති ආයතන සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. විශේෂයෙන් ම සියළු සහෝදරියන්ගෙන් ඉතා බලවත් ලෙස ආයාචනා කොට සිටින්නේ දැනට අප රටේ ඇතිවී ඇති හදිසි හා බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන කෙනෙකුගේ අනන්‍යතාව අවශ්‍යය වන තත්ත්වයකදී ආරක්ෂක අංශ මුහුණ පාන දුෂ්කර තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙසය. එහෙයින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන  අපගේ සහෝදරියන් විසින් මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීමෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක්වන අයුරින් කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

එලෙසම සෑම අයෙකුම තමන්ගේ ජාතික හැඳුනුම් පත අවශ්‍ය අවස්ථාවකදී නිළධාරීන් වෙත ඉදිරිපත් කිරීම පිණිස තමන් භාරයේ තබා ගන්නා ලෙස උපදෙස් දෙන්නෙමු. 

 

අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්

ලේකම් - ෆත්වා අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ (ACJU) විශේෂ නිවේදනය

2019 අප්‍රේල් මස 21 වැනි ඉරුදින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර ලාංකික මුස්ලිම් ප්‍රජාව හැටියට තරයේ හෙළා දකින්නෙමු.

එක් ජීවයකට හානියක් කිරීම මුළු මහත් මිනිස් සංහතියටම හානියක් කළ හා සමානයි යැයි උගන්වන ඉස්ලාමය මෙවැනි කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවන් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවන් කෲර ක්‍රියාවන් හි නියැලෙන්නන් ඉස්ලාමය හා කිසිම සම්බන්ධයක් නොමැති බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් තරයේ පවසා සිටින්නෙමු.

ඊයේ දින දින සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වී ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුලේ උදවිය හා තුවාල ලැබූ සියලුම සහෝදර ජනතාව සමඟ ඔවුන්ගේ දුක බෙදා හදා ගන්නා ලෙසත් හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන ලෙසත් දිවයින පුරා ඇති සියළුම මුස්ලිම් දේවස්ථාන වල භාරකාර මණ්ඩල වලින් අප සංගමය ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

එහෙයින් පහත නිර්දේශිත කරුණු ඔස්සේ ක්‍රියාකරන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

1) මෙවන් කෲර ක්‍රියාවන්ට සම්බන්ධ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශයන්ට පූර්ණ සහය ලබාදෙන ලෙස සියලුම මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලා සිටිමු.

2) මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට භාජනය වූ සියලුම ප්‍රදේශයන්හි ආගමික නායකයින් හා එක්ව, පීඩාවට පත්වූවන්ට අස්වැසිල්ලක් වන පරිදි සහය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

3) පීඩාවට පත්වූවන්ට තම ශ්‍රමයෙන් හා ධනයෙන් හැකි අන්දමින් උදව් උපකාර කරන ලෙස අප ඉල්ලා සිටිමු.

4) පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සියලුම මුස්ලිම් දේවස්ථාන තුළින් ධන පරිත්‍යාග රැස් කර නිසි අයුරින් බෙදාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

5) පීඩිත ජනතාව විසින් තමන්ගේ කම්පනයත් සමග යම්කිසි වේදනාකාරි අයුරින් ප්‍රකාශයක් හෝ හැසිරීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව ඉතාමත් සාවධානව ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්වේ

6) එම ත්‍රස්තවාදී ක්‍රියාව හෙළා දකිමින් සහ පීඩිත ජනතාවට අස්වැසිල්ලක් වන පරිදි බැනරයක් සෑම මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට ම ප්‍රදර්ශනය කරන ලෙසත් ශෝකය ප්‍රකාශ කරමින් සුදු කොඩියක් ඔසවා තබන ලෙසත් ඉල්ලා සිටිමු.

7) එළඹෙන ඉරිදා දිනයේ දී කිතුනු සහෝදරයින් දේව මෙහෙයට සහභාගී වන අවස්ථාවේදී, ඔවුන්ට එරෙහිව සිදු කල මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිමින් සහ අපගේ සහෝදරත්වය විදහා දක්වමින් හැකි පමණින් එම දේවස්ථාන පරිශ්‍රයට එක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

 

අෂ් ෂෙයික් එච්. උමර්දීන්

ලේකම්ප්‍රචාරක අංශය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය

 

මාධ්‍ය නිවේදනය

2019 අප්‍රේල් මස 21 වන දින         

සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිතුනු ජනයා වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මෙම මොහොතේ දී සහෝදරත්වයේ දෑත් දිගු කොට ඔබ සියලු දෙනා සමඟ එක්සිත් ව සිටින බවට ඉතා හෘදයාංගමව පවසා සිටින්නෙමු. මෙය එක් ජන කොටසකට විශේෂ වූ දිනයක එල්ල කළ ප්‍රහාරයක් වුවද එය සමස්ත ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ සහ අප සියලු දෙනාම ඉතාමත් කනගාටුවට පත් කර ඇති සෝචනීය දිනයකි.

ආගමික ස්ථාන අවට ආරක්ෂාව මනාව තර කරන ලෙසත් මෙවන් නින්දිත ක්‍රියාවන් කිරීමට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම අවාසනාවන්ත සහ ඉතා කනගාටුදායක මොහොතේදී තම සහෝදර කිතුනු ජනයාට අවශ්‍ය සහයෝගය, මානසික ශක්තිය හා ආරක්ෂිත බව තහවුරු කිරීමට හැකි සෑම ක්‍රියාවක් සඳහා ම දායකවන ලෙස ශ්‍රී ලංකාවාසි මුස්ලිම් ඇතුලු සියලු ජනයාගෙන් ද විශේෂයෙන්ම මුස්ලිම් දේවස්ථාන භාරකාර මන්ඩල වලින් ද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

රෝහල්වලට අවශ්‍ය ලේ දන්දීම්, පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අවශ්‍ය මූලික පහසුකම්, රෝගීන්ට අවශ්‍ය සහයෝගය මෙන්ම සහෝදර කිතුනු ජනයා හට මානසික අසල්වැසිල්ලක් ලබාදිය හැකි ආකාරයේ කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන මෙන් ඉල්ලා සිටිමු.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ශක්තිමත්ව හා අන්‍යෝන්‍යය ගෞරවයෙන්, ආදරයෙන් රටක් හැටියට ඉදිරියට යාමට අප සියලු දෙනාටම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුලේ උදවියටත් හා තුවාල වූ සියලුදෙනාට අල්ලාහ් දෙවියන් ශක්තිය හා ධෛර්යය ලබාදෙත්වා යැයි ප්‍රාර්ථනා කරමු.

ස්තුතියි

 

මුෆ්ති එම්. අයි . එම්. රිස්වි

සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය