15.03.2020

19.07.1441

රට තුළ Covid-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ දැනුවත් කිරිම්

  1. ජුමුආ නැමදුම ඇතුළු වූ පස්වේල සාමූහික නැමදුම් හා  මස්ජිදය  තුළ හෝ පොදු ස්ථානවල අනෙකුත් සෑම එක්රැස්වීම් වලින් වැළකී සිටීම.
  2. සෑම මස්ජිදයේම නිසි වේලාවට අදාන් කිව යුතුයි. එසේම අදානය අවසානයේදී “සල්ලූ ෆී රිහාලිකුම්”  (ඔබලා රැඳී සිටින ස්ථානවලම සලාතය ඉටු කරගන්න.) (සහීහ් මුස්ලිම් - 697) යනුවෙන්  දැනුම් දීම.
  3. මස්ජිදය තුල සිටින මෞලවි  තුමා හා මුඅද්දින් නැමැති ප්‍රචාරකයා වැන්නන් මස්ජිදයේම සාමූහිකව සලාතය ඉටු කරීම.
  4. නිවෙස් වල සිටින්නන් පස් වේල සලාතය නිසි වේලාවට සාමූහිකව ඉටුකිරීම. තහජ්ජුද් නැමැති රාත්‍රී කාල සලාතය, ලුහා සලාතය, දන් දීම හා උපවාසයන් වැනි අමතර නැමදුම් වල වැඩි අවධානයක් යොමු කරන අතරතුර පාප කර්මයන්ගෙන් මිදී සිටීම.
  5. දුවාදරුවන්ට නිවාඩු ලැබී ඇති නිසා ඔවුන් විනෝද සංචාර, මහමග රැස්වී සෙල්ලම් කිරීම වැනි දේවලින් වැළකී කුර්ආන් පාරායනය කිරීම, ප්‍රාර්ථනයන්හි නියැලීම තවද ඉගෙනීම්  ඉගැන්වීම් වැනි  යහ ක්‍රියාවන්වල නිරත කිරිමට දෙමව්පියන් දැඩි අවධානය යොමු කිරීම.
  6. කෙනෙක් තම සහෝදරයෙක් හමුවූ විට ඔහුට සලාම් කීම හා අතට අත දීම (මුසාෆහා) නබිතුමාගේ මග පෙන්වීම් වලින් එකකි. නමුත් covid-19 නැමැති රෝගය අතිනත දීම නිසා අධිකව ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බව වෛද්‍යවරුන්ගේමතය වන නිසා  මුණගැසීම් වලදී අතින් අත දීමෙන් වැළකී සලාම් කීමෙන් ප්‍රමාණවත් කර ගැනීම .
  7. ජනාසාව නැමැති මෘතශරීරයට ඉටු කළ යුතු වගකීම් ආගමික නීති රීතීන් වලට අනුව කිරිම අපගේ වගකීමකි. නමුත් මේ කාලවකවානුව සැලකිල්ලට ගෙන මෘත ශරීරයට ඉටු කළ යුතු ඉතා අත්‍යවශය වගකීම් පමණක් ඉටු කිරීමෙන් ප්‍රමාණවත් කර ගැනීම.
  8. Covid-19 නැමැති මෙම කෲර රෝගයෙන් ආසාදනයට ලක් වූවන්ට ඉක්මන් සුවය ලැබීමට ප්‍රාර්ථනා කිරීම, ඔවුන් සමග කාරුණිකව හැසිරීම හා හැකිතාක් ඔවුන්ට උදව් කිරීම අපගේ වගකීමකි.
  9. මෙම කෲර රෝගය මෙරටින් හා මුළු ලොවින්ම තුරන් වීමට සෑම දෙනාම ප්‍රාර්ථනා කිරීම.
  10. සමාජ ජාල තුලින් ආගමට පටහැනි හා පදනමක් නොමැති පුවත් පැතිරවීමෙන් වැළකී සිටීම.

 

සැලකිය යුතු කරුණු: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම පරිදි හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන තවද අන්තර්ජාතික මුස්ලිම් විද්වතුන්ගේ සහ මුස්ලිම් සංවිධාන වල තීරණයන් පදනම් කොට ගෙන  සමස්ථ ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය විසින් ඉහත දැනුම්දීම දෙන ලදී.

අල්ලාහ් මතම අප විශ්වාසය තබමු ඔහුම අපිව ආරක්ෂා කරන්නා වේ.

 


අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය

 

2020.02.04

 

අපගේ මාතෘ භූමියට නිදහස ලැබී වසර 72 ක් සම්පුර්ණ වන දිනය අප අභිමානයෙන් සමරමින් සිටින්නෙමු. නිදහස් දිනය සමරන සෑම විටෙකම එම ජයග‍්‍රහණය හා බැඳුනු අතීත සිදුවීම් අපට නිතැතින්ම සිහිපත් වෙයි.

අප රටට නිදහස ලබා ගැනීමට එදා විවිධ ජනකොටස්වලට අයත් ලාංකික ප‍්‍රජා නායකයන් එකට අත්වැල් බැඳ වෑයම් කළහ. එවිට ඔවුන් සැමගේ අදිටන වුයේ ශ‍්‍රී ලාංකිකයන් ලෙසින් අප සැම එක්සත්ව මව් බිමට ස්වෛරී බව ලබා ගත යුතුය හා අප සැම සාමයෙන් හා එකමුතුව මෙහි වාසය කළ යුතුය යන්නයි. ඒ අනුව නිදහස ලැබුනු දිනයේ පටන් තමතමන්ගේ අනන්‍යතාවන් රැක ගනිමින් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් සියල්ලන්ම කැපවීම් කළහ.

ලාංකික මුස්ලිම් ජනයාද එදා පටන් බලයට පත් වන රජයන්ට සහය දක්වමින් හා එහි පාර්ශවකරුවන් වශයෙන් කටයුතු කරමින් දැයේ එක්සත් බව භෞමික අඛණ්ඩතාව ජාතික ආරක්‍ෂාව හා ආර්ථික උන්නතිය වෙනුවෙන් උර දුන්හ. මෙයට ඉතිහාසයද සාක්‍ෂි දරයි.

බෞද්ධ හින්දු ඉස්ලාම් හා කිතුනු ආගම් අදහන සියලූ ලාංකිකයන් එක මවකගේ දරුවන් මෙන් දශක ගණනාවක් මෙහි වාසය කර ඇති තත්ත්වයක අප අතර අසමගිය හෝ අවිශ්වාසය ඇති වී ජනකොටස් හුදෙකලා වීම හෝ ඈත් වීම නියම ලාංකිකයන් කිසිසේත් අනුමත කරන්නේ නැත.

දැයේ සුක්කානම සියතට ගෙන සිටින අතිගරු ජනාධිපති මැතිඳුන් උක්ත අපේක්‍ෂාව තවත් ශක්තිමත් කරමින් රට එක්සේසත් කරන්නට කැප වනු ඇති බව අපගේ අචල විශ්වාසයයි. ජනාධිපති තුමන් පසුගිය දින සිය මුලාසන දේශනාවෙහි කී පරිදි ඔහු මෙරටේ සෑම පුරවැසියෙකුගේම නායකයාය. එතුමන්ගේ එම ප‍්‍රකාශයට වචනාර්ථයෙන්ම අරුත් ලබා දෙමින් ප‍්‍රායෝගිකව කටයුතු කරන්නට ඔහුට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා යැයි අප ප‍්‍රාර්ථනා කරමු.

ප‍්‍රජාව ලෙසින් අප සැමටද රටේ අභිවෘද්ධිය සඳහා කැපවීම් කිරීමේ වගකීම ඇති බවද අප අමතක නොකළ යුතුය. අපගේ මෙම මාතෘ භූමියට සියලූ සෞභාග්‍යයන් යුත් නිදහසක් අත් වේවා යැයි සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව හෘදයාංගමව පතයි.

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව.

29.01.2020 /03.06.1441

 

ලොවම කම්පා කරමින් සිටින කොරෝනා වයිරසය චීනයේ දහස් ගණනකට ආසාදනය වී ඇති අතර ලොව තවත් රටවල් කිහිපයකින්ද මෙම රෝගය වැළඳුනු පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව හා මරණයට පත්වූවන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතියි. මරණයට පත් වුවන්ගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප‍්‍රකාශ කරන අතර ආසාදන වුවන් ඉක්මන් සුවය ලබන්නට අල්ලාහ්ගෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

 

එමෙන්ම මෙවන් දුර්භික්‍ෂ අවස්ථාවල අල්ලාහ්ගේ දයාව හා ආශීර්වාදය ලබා ගැනීම සඳහා කළ යුතු විශේෂ යහකි‍්‍රයා හා ප‍්‍රාර්ථනාවල යෙදෙන මෙන්ද මුළු ලොවටම ඇති වී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය ඉක්මනින්ම මගහරවන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින මෙන්ද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි.

 

මෙවන් අවස්ථාවකදී අනවශ්‍ය හා අසත්‍යය පුවත් සමාජ ගත කිරීම හා සමාජ ජාලා වල ප්‍රචාරණය කිරීම අනවශ්‍යය ගැටළු හා ජනයා තුළ අනිසි බියක් ඇති වීමට හේතු විය හැකි හෙයින් ඉන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු.

 

එමෙන්ම සෞඛ්‍ය නිලධාරීන් හා අදාල බලධාරීන් විසින් මහජන ආරක්‍ෂාව සඳහා ලබා දෙනු ලබන උපදෙස් හා නිර්දේශ එලෙසින්ම අනුගමනය කළ යුතු අතර රෝග අවදානම තිබෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටින මෙන් ඉස්ලාමය මගපෙන්වා ඇත. යම් ප‍්‍රදේශයක වසංගතයක් පැතිර තිබෙන බව දැන ගත් විට එම ප‍්‍රදේශයට නොයන ලෙසද තමා එක් ප‍්‍රදේශයක සිටින විට එහි වසංගතයක් පැතිරුනහොත් එම ප‍්‍රදේශයෙන් පිට නොවන මෙන්ද නබි මුහම්මද් (සල්) තුමාණන් කියනු තමා ඇසු බව අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් (රලි) තුමාණන් දන්වා සිටියි. (ග්‍රන්ථය : බුහාරී 5729)

 

මෙවන් ව්‍යසන අවස්ථාවල අප පාරායණය කිරීම සඳහා පහත ප්‍රාර්ථනාව කාරුණික නබි මුහම්මද් (සල්) තුමාණන් අපට උගන්වා ඇත;

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَمِنْ سَيِّئِ الأَسْقَامِ

අරුත: අල්ලාහ්, සුදු කබර, පිස්සුව, ලාදුරු හා භයානක රෝගවලින් ඔබගේ ආරක්‍ෂාව පතමි. (ග්‍රන්ථය : අබූදාවුද් 1554)

 

මෙවන් දරුණු රෝග හා ව්‍යසනවලින් අල්ලාහ් අපව ආරක්‍ෂා කරත්වා. ආමීන්.

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව (සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව)

10.01.2020

 

ඕස්ටේ‍්‍රලියාවෙහි හට ගෙන තිබෙන ලැව් ගින්න වෙතට මුළු ලොවේම සංවේගජනක අවධානය යොමු වී ඇත. මේ වන තෙක් මිලියන සංඛ්‍යාත හෙක්ටෙයාර් භූමි ප‍්‍රදේශයක් ගින්නෙන් දැවී විනාශ වී ඇත. එමෙන්ම මිනිස් ජීවිත හානි ගැනද තොරතුරු ලැබෙමින් පවතින අතර 1500 කට අධික සංඛ්‍යාවක වාසස්ථාන හා වෙළඳස්ථාන ගිනිබත් වී ඇත. එළ හරක් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත සිවුපාවුන් හා වන සතුන්ද ගින්නට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. ගින්නට අමතරව එයින් නැගෙන දුමාරය නිසා ගින්නෙන් ඈත්ව පිහිටා ඇති ප‍්‍රදේශවල වාසය කරන්නන්ට පවා දැඩි අසීරුතා ඇති වෙමින් තිබේ. මේනිසා එම රටෙහි සාමාන්‍ය ජන ජීවිතය පවා අඩාල වී ඇත.

 

මෙවන් තත්ත්වයක එහි වර්ෂාව ඇද හෙලෙන්නට ආරම්භ වී තිබීම මඳක් හෝ සෙසු ලෝකයාට සැනසීමක් ගෙන දෙමින් තිබේ.

 

 ඕස්ටේ‍්‍රලියාවෙහි ඇති වී තිබෙන මෙම දැවැන්ත විපත ඉක්මනින්ම පහව ගොස් සාමාන්‍ය පරිදි වර්ෂාව ඇද හැලී එහි වාසය කරන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට පැමිණිය යුතුය යැයි අල්ලාහ්ගෙන් බැගෑපත්ව අයැද සිටින මෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

 

 

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි                             අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්

සභාපති,                                              නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව         සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව

 

 

 

 

08.01.2020 CE / 12.05.1441 AH

 

උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණය සම්බන්ධයෙන්

 

මෙම වසරේ ජනවාරි මාසයේ 10 හා 11 යන දිනයන්හි (සිකුරාදා හා සෙනසුරාදා) ඉන්ෂා අල්ලාහ් උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණයක් (Penumbral Lunar Eclipse) ඇතිවීමට බලාපොරොත්තු වන බව තාරකා විද්‍යාත්මක වාර්තා දැනුම් දෙයි. ඇතිවීමට නියමිත මෙම චන්ද්‍ර ග්‍රහණය කොළඹ වේලාවට අනුව සිකුරාදා දින ප.ව. 10:37 සිට සෙනසුරාදා දින පෙ.ව. 2:42 දක්වා ලංකාවේ පෙනීමට නියමිත බව එම වාර්තාවන්හි සඳහන් ව ඇත.

 

(Penumbral Lunar Eclipse) උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණයේදී චන්ද්‍රයාගේ ආලෝකය අපැහැදිලි තත්ත්වයකින් ඇතිවීමයි. එමෙන්ම චන්ද්‍රයා සම්පූර්ණව හෝ එහි කොටසක් හෝ සැඟවෙන්නේ නැත. සූර්යයා හෝ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් සැඟවීම දුටු අවස්ථාවකදී ග්‍රහණය සදහා සලාතයේ යෙදීම සුන්නත් වේ. නමුත් මෙවැනි උපච්ඡායා ග්‍රහණයේදී ග්‍රහණ සලාතයේ යෙදීම සුන්නත් නොවේ.

 

“සූර්යයා හා චන්ද්‍රයා අල්ලාහ්ගේ සංඥාවන් අතරින් ය. කවරෙකුගේ මරණය සඳහා හෝ ඉපදීම සඳහා හෝ ග්‍රහණයන් සිදු නොවේ. ග්‍රහණයක් සිදුවීම දුටුවේ නම් අල්ලාහ් වෙත අයැදින්න. තක්බීර් පවසන්න. සලාතයේ යෙදෙන්න. දන් දෙන්න.” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත. (ග්‍රන්ථය බුහාරි : 1044)

 

 

අෂ් ෂෙයික් එම්. අබ්දුල් වහ්හාබ්

සම්බන්ධිකාරක,

හිලාල් කමිටුව,

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සභාව.

 

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය විසින් රබීඋනිල් අව්වල් මාසය පෙරනිමිති කරගනිමින් රචනා තරග දෙකක් සූදානම් කොට ඇත.

අධ්‍යයන රචනාව

  • මාතෘකාව :

“විවිධ ජන කොටස් අතර මිත්‍රත්වය සහ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම”

  • වචන       -     4500-5000
  • මාධ්‍යය     -     සිංහල/දමිළ
  • සුදුසුකම්    -    BA, M.A උපාධිදාරීන් හෝ ගුරු පුහුණු විද්‍යාලයකින් සමත් වීම (College of Education)
  • ත්‍යාග            

පළමු ස්ථානය        රු : 100,000

දෙවන ස්ථානය      රු : 75,000

තෙවන ස්ථානය     රු : 50,000

සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැ‌බේ.

රචනාව 

  • මාතෘකාව 

“මානව හිතවාදී නබි මුහම්මද් (සල්) තුමාණෝ”

හෝ

“නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ බහු පෞර්ෂ්‍යත්වය”

හෝ

“යහගුණයෙන් පිරි නබි මුහම්මද් (සල්) තුමාණෝ”

 

  • වචන             : 1500-2000
  • මාධ්‍යය             : සිංහල/දමිළ
  • සුදුසුකම් : උසස් පෙළ විභාගයට පෙනී සිටි හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීම
  • ත්‍යාග             :

පළමු ස්ථානය        : රු : 75,000

දෙවන ස්ථානය      : රු : 50,000

තෙවන ස්ථානය    : රු : 30,000

සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැ‌බේ.

 

  • කොන්දේසි
  • ස්වනිර්මාණ ලිපියක් විය යුතුයි
  • පෙරදී ලියන ලද්දක් නොවිය යුතුයි
  • උපුටන ලද කරුණුවල මූලාශ්‍ර සඳහන් කළ යුතුයි
  • වයස් හා ආගම් භේදයකින් තොරව සහභාගි විය හැක
  • නම, ලිපිනය, දුරකථන අංකය අමුණා තිබිය යුතුයි
  • තරගය සදහා සහභාගි වන්නන් 2019.12.10 යන දිනට පෙර පහත සදහන් අංකය අමතා ලියාපදිංචි විය යුතුයි
  • 01.31 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියුම් කවරයේ “රචනා තරගය 2019” යැයි සඳහන්ව අප ලිපිනයට එවිය යුතුයි.
  • පිරිමි සහ ගැහැණු සියල්ලන්ටම සහභාගී විය හැකිය.
  • ලිපිනය :
  • සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය,
  • 281, ජයන්ත වීරසේකර මාවත,
  • කොළඹ 10.
  • වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ:ව 9 සිට ප:ව 5 අතර : 011-7 490 490/0773185353

 

  • සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය.

 

 

 

2019 නොවැම්බර් 18

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

 

අපගේ අතිගරු ජනාධිපතිතුමන්ට සුබ පැතුම්

අප මාතෘ භූමියේ 07 වන විධායක ජනාධිපති වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා පත් වීම මෙරටේ පුරවැසියන් වන අප සියලු දෙනාටම ඓතිහාසික සිද්ධියකි.

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් වන අප, අපගේ නායකයා නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් තෝරා පත් වීම ශ්‍රී ලාංකේය අප සැමගේ සතුටට කරුණකි.

බහු ආගමිකයින් ලෙස බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කිතුනුවන් වන අපි මෙම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සලකන අතර මෙම රටේ සියලු ජන කොටස් අතර සමගිය හා සාමකාමී සහජීවනය පවත්වා ගනිමින් සංවර්ධනය හා සමෘද්ධිය කරා මෙරට ධජය ගෙන යනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) යනු දේශපාලනික නොවන සංගමයක් වන අතර දශක 9 කට වැඩි එහි ඉතිහාසය පුරාම මෙරට සංවර්ධනය සඳහා රජයන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර ප්‍රජාවන් අතර සමගිය හා සාමකාමී සහජීවනය ගොඩනැගීමේ උත්සාහයන්හි ක්‍රියාකාරීව නිරත වී ඇත.

සාමය, සමගිය සහ සමෘද්ධිය ගොඩනැංවීමත් සමඟම මෙරට උන්නතිය උදෙසා අතිගරු ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමට අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.

සර්වබලධාරී දෙවියන් වන අල්ලාහ් සිය විශේෂ මඟ පෙන්වීම තුළින් අපගේ මාතෘ භූමියට දයාව හා ආශිර්වාදය පිරිනමත්වා, සංවර්ධනය, සාමය, සමගිය සහ සමෘද්ධිය කරා මෙරට මෙහෙයවීමට ඔබට ශක්තිය ලබා දෙත්වා.

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති - සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU)

 

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහලේකම් - සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU)

 

13.11.2019 /15.03.1441

ඡන්ද දිනයෙහි නැණවත් ලෙසින් කටයුතු කරමු

ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත බව අප දනිමු. ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව හැටියට අප කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දීමට අපට අයිතිය ඇත. එනිසා මෙම අයිතිය අපතේ නොයවා වගකීමෙන් යුතුව ඡන්දය භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු.

එදින සවස වන තෙක් කාලය ගත නොකර හැකි පමණ උදෑසනින්ම ඡන්දපොළට ගොස් තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය ප‍්‍රකාශ කරන මෙන්ද, ඡන්ද පොළවල කටයුතු කරන නිලධාරීන් හා කාර්ය මණ්ඩලයටද ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට පහසු වනු අයුරින්ද, ඡන්දය ප‍්‍රකාශ කිරීමට යන විට ජාතික හැඳිනුම්පත හෝ අන්‍යයතාවය තහවුරු කළ හැකි වෙනත් නීත්‍යානුකූල ලියවිල්ලක් ගෙන යන මෙන්ද ඉල්ලා සිටිමු.

ඡන්ද පොළට යන විට තමන්ගේ අන්‍යයතාවය තහවුරු කිරීම අවශ්‍ය හෙයින් විශේෂයෙන් මුහුණු ආවරණය පළදින කාන්තාවන් තම මුහුණු නිරාවරණය කොට අනන්‍යතාව තහවුරු කරන මෙන් ද,  අදාල නිලධාරීන්ට තම කාර්යයන් ඉටුකිරීමට සහයෝගය දක්වන මෙන්ද, එසේ යන විට තමන්ට මහ්රම් නෑකමක් ඇති පුරුෂයෙකු සමග යන මෙන්ද,  හැකි පමණින් වාහනයකින් ම ස්ථානයට යන මෙන්ද, ඡන්දය ප‍්‍රකාශ කළ සැණින් තමන්ගේ නිවෙස්වලට යන මෙන්ද ඉල්ලා සිටිමු. මෙසේ කිරීම මගින් අනවශ්‍ය ගැටුම් මගහරවා ගත හැකිය යැයි උපදෙස් කරන්නෙමු.

තවද ඡන්දය ප‍්‍රකාශ කළ සැණින් මහමග රැදී කාලය නාස්ති නොකොට ප්‍රයෝජනවත් ක්‍රියාවන්හි කාලය ගත කරන මෙන්ද, ඡන්දයෙන් තේරී පත්වන්නා රටට ආදරය කරන, රට වැසියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන, රට සංවර්ධිත කිරීමට උනන්දුවත් හැකියාවත් ඇති පුද්ගලයෙකු වන මෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

මෙහි සඳහන් මගපෙන්වීම් තම තමන්ගේ පෙදෙස්වල ජනයාට පැහැදිලි කර දෙන මෙන් ආගමික ප‍්‍රධානීන් මස්ජිද්වල පරිපාලකයින් මෙන්ම ජම්ඉයියතුල් උලමා සංගමයේ ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික්ක කාර්යාලවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

 

සටහන : මෙම දැන්වීම එළඹෙන 15 වන සිකුරාදා ජුමුආ සලාතය අවසානයේ මස්ජිදයේ ප‍්‍රසිද්ධියේ කියවන්නට කටයුතු කරන මෙන් දිවයිනේ සියලුම මස්ජිද්වල භාකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

 

අෂ් ෂෙයික් එ.සී. අගාර් මුහම්මද්

නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය

10.11.2019/12.03.1441

 

සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් (සල්තුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහිලා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය ඉමහත් සතුටට පත් වෙයි.

 

ආරාබි ලිත අනුව වන රබිඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් දෙවියන් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් (සල්) තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.

 

රබිඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යනුයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ‍්‍රීක බවද අලංකාරයද ගෙන දෙයි. එසේම වසන්තයේ ආරම්භය යන තේරුම ඇති රබිඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් (සල්) තුමන් ඉපදීම මගින් මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක‍්‍රමයක් දායාද කළේය.

 

නබි මුහම්මද් (සල්) තුමන් ඉපදුනු එම අවදිය ලොව සැම තැනම ආධ්‍යාත්මිකව හා ලෞකික පසුබෑමක් වූ ඉඩෝර අවදියක් විය. මිනිස් වර්ගයාට වසන්තයක දැඩි  ඕනෑකමක් තිබුනු කාලපරිච්ඡේදයක් ලෙසින් එය තිබුනි. එම වසන්තය කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් රැගෙන ආ ජීවන මග පිරිපුන්ය.

 

වර්තමානයේ මානව දයාව සානුකම්පාව පරාර්ථකාමය සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යයය ලෙසින් හැකිවනු ඇත. තවද නව ලොවක් නවාකාරයෙන් බිහිකිරීමේ හැකියාව එතුමන් දෙසූ වදන් තුළින් හැකිවනු නියතය.

 

නබි මුහම්මද් (සල්) තුමන්ව සංවේදි ලෙසින් සිහිපත් කරන මෙම දිනවල එතුමන් දෙසු මානව දයාව සානුකම්පාව පරාර්ථකාමය සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීම තුළින් එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් සාක්‍ෂි දැරීමේ වගකීම මුස්ලිම්වරුන්ට ඇත.

 

අපගේ මාතෘභූමියෙහි සාමය හා ශාන්තිය පැවතිය යුතුය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතුය යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම අපගේ රට සංවර්ධිත රටක් වශයෙන් පත් කර දෙන් මෙන්ද අප අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිමු.

 

අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්                  

නියෝජ්‍ය සභාපති,                                 

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය                

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති ,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය

 

 

 

 

29.10.2019

මුළු ලොවටම පිළිලයක් ලෙසත් ඉස්ලාම් ධර්මයහි වූ දයාව, ආදරය,  කරුණාව, ගෞරවය, බල නොකිරීම වැනි ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විකෘති කර අන්තවාදී සාහසික දේශනා තුළින් ලේ වැගිරවීම් කලාවූත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්ව ඇති බව දැනගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ ඇතුළුව සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.

2015 වසරේදීම, මෙම ISIS ත්‍රස්ත සංවිධානය හා ඉස්ලාම් ධර්මය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව (ACJU) ඇතුළු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින් සිදු කරනු ලැබූ ඒකමතික ප්‍රකාශය ගැන සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ද පොළඹවාලීම් සහ අවාදර්ශයන් ලබා දුන්නේ යැයි සැක කරන මෙම ත්‍රස්ත සංවිධානයේ මූලිකයාගේ අවසානය ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම යම් අයුරකින් අස්වැසිල්ලක් වනු නියතය.

එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු කොටස් පවා ඉස්ලාමීය දේවස්ථානවලට හෝ සුසාන භූමි වෙත භාර නොගැනීමට සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව උපදෙස් දුන් බව ද මතක් කරනු කැමැත්තෙමු.

තවද, මෙවන් ප්‍රචණ්ඩ, අන්තවාදී සහ ත්‍රස්ත ක්‍රියාකාරකම්, දෘෂ්ටිවාදයන් සහ පෙළඹවීම් වලින් ඈත් වීමටත් ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් තවදුරටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම සහයෝගය ලබා දීමටත්, ප්‍රජාවන් තුළ අන්තවාදය පෝෂණය කරනවුන් ගැන විමසිල්ලෙන් සිටින ලෙසත් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව ශ්‍රී ලංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

 

අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්

ලේකම්

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය