29.01.2019 / 22.05.1440
ජාතීන් අතර පවතින බහුත්වය එදා පටන් පැවත එන්නකි. ආගම් අතර පවතින බහුත්වය ද යථාර්ථයකි. සෑම ආගමක්ම මෙම සත්‍යය මුළුමණින්ම පිළිගනියි. අන් දහමකට නිගරු කිරීම හෝ හිංසා කිරීම හෝ කිසිවිටෙක කිසිම දහමක් පිළිගන්නේ නැත.
අන් දහමකට අපහාස කිරීමත් අන් ආගමික සහෝදරයින්ගේ හැඟීම් අවුස්සන අයුරින් ක්‍රියා කිරීමත් ඉස්ලාමය තරයේ හෙළා දකියි. අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට නුඹලා බැණ නොවදින්න” (06:108) යනුවෙන් ශුද්ධ වූ අල් කුර් ආනය මඟ පෙන්වයි. අන් ආගමිකයින් අදහන කිසිවකට බැණ වැදීම හෙළා දකින ඉස්ලාමය, අන් ආගමකට අපහාස වන අයුරින් හෝ අන් ආගමික හැඟීම් ඇවිස්සෙන අයුරින් ක්‍රියා කිරීමට කිසිවිටෙක අනුබල දෙන්නේ නැති බව ඉතා පැහැදිළි කරුණකි.
ඉතිහාසය පුරාවටම ලාංකීය මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ප්‍රජාවන් සමඟ සාමයෙන් ජීවත් වී රටේ සංවර්ධනය උදෙසා නන්අයුරින් දායකත්වය පිරිනැමූ ප්‍රජාවක් ලෙස පැවත එයි. ඒ අනුව ආගමේ නාමයෙන් හෝ ජාතියේ නාමයෙන් හෝ අන් ආගමක් අපහාසයට පත් කරන කිසිදු ක්‍රියාදාමයක් හෝ නීතීය උල්ලංඝණය වන පරිදි කිසිදු ක්‍රියාමාර්ගයක් මුස්ලිම් ප්‍රජාව කිසිවිටෙක පිළිගන්නේ නැත. එමෙන්ම ඉස්ලාමයේ නාමයෙන් සිදුවන කවර අන්තවාදී හා ආගමක් අපහාසයට ලක් වන ක්‍රියාදාමයක් වුවද එය සමස්ත මුස්ලිම් ප්‍රජාවම තරයේ හෙළා දකියි.
මෑතකදී බොද්ධාගමික සහෝදරයන්ගේ හැඟීම් ඇවිස්සෙන පරිදි ඇතැම් අක්‍රමිකතා සිදුවූ බවට වාර්තා වෙයි. සැක පිට ඇතැමුන් සිරභාරයට ගෙන ඇත. විමර්ශනයෙන් පසු වැරදිකරුවන් කවුරුන් වුව ද ඔවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් නිසි දඬුවම් පිරිනැමිය යුතුය. එමෙන්ම රටේ ජාතීන් අතර සාමය හා සමාදානය උදා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. විශේෂයෙන් තරුණ ප්‍රජාවට දැහැමි අයුරින් මඟ පෙන්වන ක්‍රියා දාමයන් රට පුරා ආගමික ස්ථාන ඇතුළුව වෙනත් සමාජ ආයතන හරහා ක්‍රියාත්මක කළ යුතුයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිල වාර්තාවක් රජය විසින් නිකුත් කර නොමැති තත්ත්වයක මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් සිටින අනුමාන, කට කතා, පදනම් විරහිත පුවත් සමාජගත වන බැවින් ප්‍රජාවන් අතර එකමුතුකම හා සහජීවනය පළුදු විය හැකි යැයි මුස්ලිම් ප්‍රජාව බිය වෙයි. එබැවින් මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාරධර්මයන් පිළිපදිමින් රටේ සමගිය හා එකමුතුකම ආරක්ෂාවන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම අන්තවාදී ආගමික ක්‍රියාදාමවල නිරත වන්නන් සෑම දහමකම සිටින බව මෑත කාලයේ රට තුළ සිදුවූ ඇතැම් සිදුවීම් තුළින් පැහැදිලි වෙයි. විටින් විට රට තුළ අන් ආගම් අපහාසයට ලක් වන අයුරින් හා අන් ආගමිකයින්ගේ ජීවිත හා දේපළ විනාශ වන අයුරින් ඇතැමුන් නිතරවීම ඉතා කණගටුවට කරුණකි. පසුගිය කාලවල සිදුවූ පිළිකුල් සහගත ක්‍රියා මෙය කදිමට පෙන්වා දෙයි. මෙවන් ප්රචණ්ඩ සංස්කෘතියක් රට තුළ දිගටම ක්‍රියාත්මක වන්නේ නම් වසර ගණනාවක් තිස්සේ අප සියලු දෙනා එක්ව ගොඩ නැගූ අපගේ මව් රටේ අනාගතයට අභියෝගයක් වීමේ කනගාටුදායක තත්ත්වයක් උදාවනු ඇත.
එබැවින් කවර දහමකට අයත් කෙනෙකු මෙවන් ක්‍රියාදාමයක නිරත වුවද කිසිදු වෙනසකින් තොරව නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබා දී රටේ එක්සේසත්කම හා ආරක්ෂාව රජය විසින් තහවුරු කළ යුතුයි. එමෙන්ම ප්රචණ්ඩත්වය හා ආගමික ආපහාසය වෙත ගෙන යන අන්තවාදී අදහස් මැඩලීම සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය අතිමහත් බව මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමු.
කවර දහමකට අයත් පුද්ගලයකු වුවද ඔහුගේ කටයුතුවල එවැනි සළකුණු දක්නට ලැබේ නම්, කල් ඇතිව යථාර්ථය සොයගන්නා බුද්ධි අංශය, නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය, සැමට ආරක්ෂාව සලසන ත්‍රිවිධ හමුදාව, නීතිය ක්‍රියාත්මක කරන අධිකරණය යන රටේ සාමයට වගකිව යුතු සියලු සැළසුම් සකසා දුන් රජය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු යැයි ඉල්ලා සිටින්නෙමු.
- All Ceylon Jamiyyathul Ulama
- Advocacy & Reconciliation Council
- Al-Kafaala Foundation
- All Ceylon Thawheed Jamath
- All Ceylon Young Mens Muslim Association Conference
- All University Muslim Students’ Association
- Al-Muslimath
- Association of Muslim Youth of Sailan
- Centre for Islamic Studies
- Colombo District Masjid Federation
- Families Relief Sri Lanka Trust
- Federation Of All Mosques In Ampare District
- Federation of Sri Lanka Arabic Colleges
- International Islamic Relief Organization
- Sri Lanka Islamic Center
- Jama’athus Salama
- Jamaath Ansari Sunnathil Muhammadiyya of Sri Lanka
- Sri Lanka Islamic Students’ Movement
- Kandy City Masjid Federaion
- Markaz Islamic Center
- Muslim Aid
- Muslim Council of Sri Lanka
- Muslim Women Research Action Front
- Nidha Foundation
- Shazuliyya Thareeka
- Sri Lanka Jama’athe Islami
- Sri Lanka Muslim Media Forum
- United Thawheed Jamath
- World Assembly of Muslim Youth
- World Cultural Center for Development and Training
- Zam Zam Foundation