වෛරසයකින් ආසාදනය වී මුස්ලිම්වරයෙකු මරණයට පත් වුවද එම දේහය ආදාහනය හෙවත් පුළුස්සා දැමීම ඉස්ලාමයේ අනුමත මගපෙන්වීම නොවේ.
මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට ඔහුව හෝ ඇයව ස්නානය කරවා, කෆන් නම් සාමාන්‍ය සුදු රෙදි කඩකින් ඔතා, ජනාසා සලාතය ඉටු කර එම දේහය මුස්ලිම්වරුන් සඳහා වෙන් වුනු සොහොන් බිමක භූමදානය කිරීම හෙවත් වැළලීම ෆර්ල් කිෆායා හෙවත් මුස්ලිම්වරුන් මත වූ සාමූහික වගකීමකි. මෙම වගකීම් හතර ඉටු කරන්නට හැකියාව තිබෙන විට එය ඉටු නොකළහොත් එම මරණයට අදාල පෙදෙසේ වාසය කරන සියලුම මුස්ලිම්වරුන් එයට වගකිව යුත්තන් වෙති.
ඒ අනුව මරණයට පත් වන විශ්වාසිකයෙකු ඉහත සඳහන් පරිදි භූමදානය කිරීම අනිවාර්ය වගකීමකි. මෙය නබි මුහම්මද් තුමන් පෙන්වා දුන් හා එතුමන්ගේ කාලයේ අනුගමනය කළ ක්‍රමය වන අතර අද දක්වා මද්හබ් හෙවත් ගුරුකුළ හතරම මෙම පිළිවෙත ඒකමතිකව පිළිගනියි. මෙම රීතියට ඇති එකම අනෙක් විකල්පය නම්, භූමදානය ප්‍රායෝගික නොවන තත්ත්වයක එනම්, නැවක ගමන් කරන විට මුස්ලිම්වරයෙකු අභාවයට ගිය විට එම දේහය ස්නානය කරවීම, කෆන් කිරීම හා සලාතය ඉටු කිරීම යන වගකීම් තුන එලෙසින්ම ඉටු කිරීමෙන් පසු එම දේහයට බරක් ගැට ගසා මුහුදට හෙළීමයි. දේහයක් සාගරයට දමන විකල්පය අන් අවස්ථාවක වලංගු නොවේ.
මෙම කරුණු අනුව භූමදානය සම්බන්ධ ඉහත අනිවාර්ය රීතියට පටහැනි වීමට කිසිදු මුස්ලිම් ආගමික විද්වතෙකුට නොහැක.